Spread the love

අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් ශ්‍රී ලංකා පරිගණක සංගමය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය එක්ව මෙම ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පමණක් නොව කර්මාන්ත සංවර්ධන ක්ෂේත්‍රයන්හි නිරතවීම සඳහා දරුවන්ට පුළුල් ඉඩප්‍රස්ථා සලසා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දරුවන් දිරිගැන්වීම පිණිස පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම තෙක් ක්‍රියාවට නැංවෙන ඔලිම්පියාඩ් වැනි තරග සඳහා දරුවන් සම්බන්ධ කර ගැනීමට සහ ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමට අවස්ථා සලසා දෙන ලෙස අවධාරණය කර සියලු පාසල් ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අටවෙනි ශ්‍රේණියෙන් ඉහළ සිසු දරුවන්ට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය විෂයක් වශයෙන් හැදෑරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවස්ථාව සලසනු ලබන බව ද එහි නියමු වැඩසටහන Microsoft ආයතනයේ අනුග්‍රහයෙන් දිවයි‍නේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 20 ක් තුළ මාර්තු මස 19සිට ආරම්භ බව ද මේ සදහා‍ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 100ක් පුහුණු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

‍ ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ තරගාවලිය තොරතුරු තාක්ෂණ විෂය සමග එක්ව සිටින සියලුම පාසල් ශිෂ්‍යයින් හා ගුරුභවතුන් සදහා ක්‍රියාත්මක වූ අතර එය තරුණ පරිගණක විද්‍යාඥයා, ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගය, නිර්මාණාත්මක ගුරුභවතා යන තරග අංශවලින් සමන්විත විය. මෙම තරගාවලියේ ඇගයීම් කටයුතු කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය මගින් සිදු කෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) හා ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) යන ආයතනයන්හි අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.

අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.