Spread the love

නිමල් රාජපක්ෂ-

.

ශ්‍රී ලංකාව සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, රැස්වීම් ඇතුළු ලෝකයේ ව්‍යාපාර අංගයන් සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති MICE (Meetings Incentives Conventions and Exhibitions) අංශය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා MICE Expo 2023 ප්‍රදර්ශනය සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.


ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු මස 13 සිට මාර්තු මස 15 දක්වා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි. දේශීය MICE සේවා සපයන්නන්ට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ජාත්‍යන්තර MICE ගැනුම්කරුවන් සමඟ ව්‍යාපාරික මාර්ග සාකච්ඡා කිරීමට අන්තර් ක්‍රියාකාරී වේදිකාවක් බවට මෙය පත්වනු ඇත.

මැදපෙරදිග, යුරෝපය, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාවේ ජාත්‍යන්තර MICE ගැනුම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ මණ්ඩලය විසින් ක්‍රමානුකූලව තෝරාගෙන මෙම අවස්ථාව සඳහා බඳවාගෙන ඇත.

මේ සඳහා සහභාගී වන MICE ගැනුම්කරුවන් ප්‍රදර්ශනයේ කොටසක් ලෙස සංවිධානය කරනු ලබන කර්මාන්ත සංසද, අන්තර්ක්‍රියාකාරී තොරතුරු හුවමාරු සැසි සහ විශේෂ චාරිකා වලට සම්බන්ධ වේ. තවද ඔවුන්ට ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය පිළිබඳ තොරතුරු ලබාදෙනු ඇත. ශ්‍රී ලංකාවේ විවිධ වූ සංචාරක ආකර්ෂණ ස්ථාන සහ විනෝදය සඳහා වඩාත් සුදුසු ස්ථාන පිළිබඳවත් MICE ගමනාන්තක් ලෙස දිවයිනේ වැදගත්කම පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබාදෙනු ඇත.