Spread the love


නිමල් රාජපක්ෂ-

විස්තිර්ණ ණය ලබා දීම සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කර ඇත්තේ කිසි සේත් ම රටට අහිතකර යෝජනා නොවන බවත්, ඒවා රටක් ලෙස ජයගත යුතු අභියෝග බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිළිඳු ජනතාව ආරක්ෂා කිරීම, දූෂණය අවම කිරීම, බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා ඒ අතර වන බවයි.
අද (22) පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට එක් වෙමින් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ ය.
අමාත්‍යවරයා එහි දී පහත සඳහන් කරුණු පිළිබඳ ද අවධානය යොමු කළේ ය.
• ණය පීඩනය සහ ගෙවුම් ශේෂ හිගය යන ද්විත්ව හිගයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටියා.
• අපි ලබා ගත් ණය වැය කළේ ක්ෂණික ඉපැයීම් නැති සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්.
• පැවැති අර්බුද අතරට පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ අසමත් ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලත් එකතු වුණා.
• ණය ගෙවීම සඳහා නැවත ණය ගන්න සිදු වුණා.
• ජංගම ගිණුම වගේම ප්‍රාථමික ගිණුමත් අර්බුදයට ලක් වුණා.
• 2018 දී ආපු ලක්ෂ 18ක සංචාරකයන් 2021 දී ලක්ෂ 2ට අඩුවුණා.
• IMF මාධ්‍ය හමුවේ දී කළ යෝජනා අනුව දැනට 128%ක තියෙන දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 95% දක්වා අඩු කළ යුතුයි.
• ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් 2026 වෙද්දි 3%ක මට්ටමකට රැගෙන යා යුතුයි.
• උද්ධමනය 2026 වන විට 5.2% මට්ටමට පහළ දැමිය යුතු යි.
• -8.3% මට්ටමේ තියෙන දළ දේශීය නිෂ්පාධිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ක්‍රමයෙන් 2026 වෙන විට 15% මට්ටමට රැගෙන ආ යුතුයි.
• 2022 වසරේ දී ඩොලර් මිලියන 462ක් දක්වා පහත බැස්ස විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් 2026 වන විට ඩොලර් බිලියන 10 දක්වා වැඩ කළ යුතුයි.
• 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අමතක කළා. ඒ නිසා තමයි අපට බංකොලොත් රටක් විදියට ඔවුන් හමුවට නැවත යන්න සිදු වුණේ.
• රුපියල් බිලියන 500ක් විතර වැය කරමින් රාජ්‍ය ආයතන නඩත්තු කරනවා.
• සමීක්ෂණයකින් හිමි හෙළිවෙලා තියෙනවා මෙරටේ 18 – 26ත් අතර දරුවන්ගෙන් 85%ක් කොහෙ හෝ රටකට යන්න කැමැත්තෙන් ඉන්නවා කියල.
• දැන් මේ යෝජනා මොන ද කියල අහන උදවිය කලින් අවස්ථාවල දී IMF යෝජනා කැබිනට් එකට ඉදිරිපත් කළෙත් නෑ. ගිවිසුම එළියට දැම්මෙත් නෑ.
• අපි දුම්වැටිවලට 75%ක පමණ බද්දක් අය කරල තියෙනවා.
• අපට මේ ලැබෙන ණය මුදල අපි පොලියත් සමග නැවත ගෙවන්න ඕනෙ. ඒකට 4%ක විතර පොලී මුදලක් එකතු වෙයි.
• ජනප්‍රිය තීන්දු ගැනීමේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. ඒවායින් පාඩම් ඉගෙන ගෙන මෙම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කළ යුතු යැයිද පැවසුවේය..