Spread the love

සින්නක්කරව ජනතාවට ලබාදීම ඇතුළු විවිධ සහන රැසක් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී තිබෙනවා. මේ සියල්ල ලබාදීමට රජයට ආදායමක් ද අවශ්‍යයි.

අප වියදම් කරන ප්‍රමාණය අනුව ආදායම ද ලැබිය යුතුයි. අය වැය කියා කියන්නේ එයයි. රජයන් බොහෝවිට මෙවැනි සහන ලබාදීමට වියදම් දරන්නේ ජනතාව වෙතින් එකතු කරගන්නා බදු ආදායමයි.

ඒ නිසා අප වියදම් සහ ආදයම් අතර සමබරතාවයක් පවත්වා ගත යුතුයි. පවතින තත්ත්වය යටතේ ජනතාවට තවත් සහන ලබාදීමට නම් බදු අයකිරීම වැඩි කරන්න සිදුවෙනවා. මේ යාන්ත්‍රණය ජනතාව තේරුම් ගත යුතුයි. වැටුප 10,000 කින් වැඩි කළත් ඇතැම් පාර්ශ්ව වැටුප තවත් වැඩිකරන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියනවා.

අපි ප්‍රායෝගිකව හිතුවොත් ඒවා ආණ්ඩු විරෝධී සටන් පාඨ පමණයි. ඒවා ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව අද මේ රටේ ජනතාවට වටහා ගත යුතුයි.

ඒ වගේම ආර්ථික පරිහානියට හේතුව ලෙස පසුගිය රජය දැවැන්ත බදු සහන ලබාදීම බව විරුද්ධවාදීන් පවසනවා. ඒ විවේචනය තුළ බදු වැඩි කළ යුතුය යන්න ඔවුන් පිළිගෙන තිබෙනවා. නමුත් බදු වැඩි කළත් ඊට එරෙහිව ද සටන් පාඨ මතු කරනවා. මේ අනුව ඔවුන් එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය දෙසැම්බර් මාසය වන විට අප වෙත නිදහස් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම අදායම් එකතු කරගැනීමේ දී ගැටළු පවතින ආයතන කිහිපයක් ප්‍රතිසංවිධානය කිරීම ද කළ යුතුව තිබෙනවා. ඒ අනුව රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවතින දූෂණ අවම කොට ඒවා රජයට විධිමත් ලෙස එකතු කර දෙන ආයතන බවට පත් කර ගත යුතුයි.

මේ වන විට රජය ආරම්භ කළ ආර්ථික වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුව අද වන විට මෙරට සංචිතවල ඩොලර් බිලියන 3.5ක් පවතින බව මහ බැංකුව පවසනවා.