Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්, මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රේගු මූලස්ථානයේ දී (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.

2023 වසරේ ලද තීරු බදු ආදායම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයන්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

වෙනස තමයි අද දක්නට ලැබෙනවා.

අප ගනු ලබන පියවර සමඟ අනාගතයේ මේ රටේ ඇතිවන ආර්ථිකය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව කථා කළයුතුයි. මැතිවරණයකට යනවා නම් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කියා ඔවුන් දැන ගත යුතුයි. හඳෙන් හාල් ගේනවා වැනි ක්‍රමයට එය සිදුකළ නොහැකියි.රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එකඟද, එය වෙනස් කරනවාද කියා සාකච්ඡා කළ යුතුයි.

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ ගිවිසුම රටවල් 15-20ක් සමඟ මෙන්ම තවත් රටවල් ගණනාවක් සමඟ අත්සන් කරන්න තිබෙනවා. අපට එතනින් ඈත් වෙලා යන්න බැහැ. අප කොහොමද මේක පිළිගන්නේ. මේ පිළිබඳ අද අප සියලුදෙනා එක්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් එය සිදු වන්නේ නැහැ. තවමත් අපේ දේශපාලනය පපඩම් වගේ. තාච්චියට දානවා, පිපුනු විට අරගෙන කනවා. ඊළග දවසේ තව එකක් දානවා. පසුව අමතක වෙලා යනවා.

අප සමාජ මාධ්‍ය පිළිබඳ කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඝෝෂා කළා.මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නවත්වනවා කියා ඝෝෂා කළා, නමුත් එය සම්මත වුණා. දැන් ඒක අමතකයි. ඒ වගේම දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට සූදානම් වී සිටිනවා. එවිටත් මේ රටේ අයිතිවාසිකම් නැහැ, ඔක්කොම හිරේ දාන්න යනවා කියලා ඝෝෂා කරයි. ඊට පස්සේ ඒකත් අමතකයි.

ඒ වගේම ටීආර්සි පනත ගෙන එන විට නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ එයත් අමතක වෙනවා. මේක පපඩම වගේ උඩට ඇවිත් යට යනවා විතරයි. මේ දේශපාලනය මට අවසන් කරන්න බැහැ. නමුත් අපේ රට මේ තත්ත්වයට පත් වුණේ මේ නිසා බව අමතක නොකළ යුතුයි.

මෙම තත්ත්වයෙන් ඈත් වී ඉදිරියට යාමට අපට ශක්තියක් තිබිය යුතුයි. එය ඔබේ අනාගතය පමණක් නොවෙයි, ඔබේ දරුවන්ගේද අනාගතයයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එකඟද, නැද්ද, ඊට සංශෝධන අවශ්‍යද කියා අප සියලු දෙනා එක්වෙලා සාකච්ඡා කරමු කියා මා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරනවා.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන්න මම සූදානම්. අප සියලු දෙනා එකට වාඩි වී එතුමිය සමග සාකච්ඡා කරමු. වෙනස් අදහස් තිබෙනවා නම් කොහොමද ඒක කරන්නේ කියලා කියන්න. එම සංශෝධන හොඳනම් මමත් එය පිළිගන්නවා. ඒ වගේම දැන් ගිවිසුමක් තිබෙනවා. අප ඒ අනුව කටයුතු කළයුතු බවත් සිහි තබා ගත යුතුයි.

මුදල්, ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්. ඩී. පෙරේරා, සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා යන මහත්වරුන් මෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.