Spread the love

රටේ අනාගත පරපුරට පැහැබර හෙටක් උදා කිරීමට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා මේ දුෂ්කර ආර්ථික මාවතේම තව ටික දුරක් යා යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මේ ආර්ථික ගමන්මඟ වෙනස් කළහොත් ඉකුත් සමයේ විඳි දුකට වඩා වැඩි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ උඩුගම්පොල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

වර්තමානයේ අපේ රට ක්‍රියාත්මක කරන ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාටයි අනුර කුමාර දිසානායක මහත්තයටයි විවෘත ආරාධනාවක් කළා. ඒ දෙන්නම කතා වලට හරිම දක්ෂයි. ඒ නිසා අපි හිතුවා පැනලා මේ අභියෝගය භාරගනියි කියලා.

විපක්ෂ නායකතුමා සෑහෙන කල්පනා කරලා ඒ අභියෝගය භාර අරගෙන තියෙනවා. හැබැයි එයා ජනාධිපති අපේක්ෂකයා ඒ විදියට මේ විවාදයට එනවද කියලා තවම පැහැදිලි නැහැ. හන්දි ගානේ පේමන්ට් ගානේ එකම බොරුව රවුම් කර කර කියන අනුර කුමාර දිසානායක මහත්තයා නම් තවම කිසිම සද්දයක් නෑ. අපි දන්න පරණ ජේ.වී.පීකාරයෝ නම් මෙහෙම නෑ. අභියෝගයක් ආවම පැනල ඒක බාරගන්නවා. නමුත් දැන් ඉන්න ජේ.වී.පීකාරයන්ට එහෙම එඩිතර කොන්දක් නෑ එයාලට පුළුවන් කයිවාරු ගහන්න විතරයි.

සජිත්ල, අනුරල කියන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරාම සාමාන්‍ය මිනිස්සුන්ට එදා වේලවත් කන්න නැති වෙනවා. ඒවා මේ ලෝකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපත්ති නෙවෙයි. අනුරලා සජිත්ලා පරණ මිනිස්සු. ඒක තමයි අනුරගේ ආණ්ඩුවේ වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති එලෝන් මාස්ක් ආර්ථික ඝාතකයෙක් විදියට හඳුන්වන්නේ. ලෝකය ගැන දන්නේ නැති මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද රටක් හදන්නේ? කොහොමද රටක ආර්ථිකයක් හදන්නේ?.