Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය සදහා එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර, මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා වන බවද එම විධායක මණ්ඩලය සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් අද උදෑසන 08.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

එමෙන්ම මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් අද දිනය තුල සිදු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා .

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා .

ඒ සම්බන්ධව ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවයි.

මේ අතර, මෙරට ඩොලර් අර්බුදය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හිමි වීමෙන් පසු අවසන් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැවසුවා.