Spread the love

ගම්පහ නගර මධ්‍යයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකදී ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයාට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර කොමාන්ඩෝ මෙහෙයුමකින් ගම්පහ නගරය ලේ විලක් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතව සිට ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙන් සහ කොමාන්ඩෝ බළකායෙන් පලාගිය සෙබළුන් දෙදෙනකු විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම හිටපු සෙබළුන් දෙදෙනා සංගීත ප්‍රසංගය වෙත ත්‍රිරෝද රථයකින් ගොස් ටී 56 අවි 2ක් යොදාගෙන ඔස්මන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ඝාතනය කර මහා විනාශයක් කිරීමට සැලසුම් කරගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

මෙම කොමාන්ඩෝ සෙබළා සහ යුද හමුදා විශේෂ බළකා සෙබළා ඇතුළු පාතාල අපාරාධකරුවෝ 10 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටිති.

සංගීත ප්‍රසංගයේ විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස ඔස්මන් ගුණසේකර සහභාගි වීමට නියමිතව සිට ඇත.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මෙම කොමාන්ඩෝ සහ විශේෂ බළකායේ සෙබළුන් දෙදෙනා වෑන් රථයකින් පලායෑමට සූදානමින් සිට ඇති බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම ප්‍රහාරය සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ පිස්තෝලයක් සමග තවත් සැකකරුවකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ නියෝගය මත මෙම ප්‍රහාරය සූදානම් කර තිබූ අතර යම්කිසි අයුරකින් එය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නම් පෙරේදා (20දා) රාත්‍රියේ ජීවිත රැසක් විනාශ වී ගම්පහ නගරය එකම ලේ විලක් වීමට ඉඩ තිබූ බව ද පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සඳහා සූදානමින් ගම්පහ ප්‍රදේශයේ සිවසක සැඟවී සිටි 9 දෙනෙකුගෙන් සමන්විත පාතාල කල්ලියක් සහ ටී 56 අවි 2ක් උණ්ඩ 186 ක් සහ මැගසින් 3ක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාරය රුපියල් කෝටි ගණනක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකිරීමට නියමිතව තිබූ අතර ඒ වෙනුවෙන් වැය කිරීමට සූදානම් කර තිබූ මුදල කොතෙක්දැයි මෙතෙක් නිශ්චිතව හෙළිවී නැති බව පොලිසිය පවසයි.

මෙම දැවැන්ත ප්‍රහාරය සඳහා තවත් පිරිසක් සම්බන්ධ වී සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

අවස්ථා ගණනාවකදීම පද්මේ සහ ගණේමුල්ලේ සංජීව ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වී තිබිණි.

ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයාට මීට කලකට පෙර මිනීමැරුම් චෝදනා එල්ලවී තිබූ අතර ඔහු මේ වනවිට එම අපරාධවලින් මිදී යහපත් ජීවිතයක් ගත කරමින් සිටියි.

ගම්පහ ඔස්මන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිවීම මෙම ප්‍රහාරක සැලසුමට හේතුවී තිබූ බව ද පොලිසිය පවසයි. ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කරනුලැබුවේ යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලා ආ කොමාන්ඩෝ සලිඳු නමැති කොන්ත්‍රාත් කුලී ඝාතකයකු විසිනි.

කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ කොමාන්ඩෝ බළකායෙන් පලා ආ සෙබළුන් රැසක් කුලී ඝාතකයන් ලෙස සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.