ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ පැවති රැස්වීමේදි තේ වතු ඉඩම් වතු කම්කරුවන්ට බෙදා දී වතුකම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට කටයුතු කරන බවට පැවසු බවත්, ජනාධිපතිවරයා එසේ වතුකම්කරුවනගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට කටයුතු කල හොත් තම පූර්ණ සහයෝගය ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට තමන්ද එවැනි යෝජනාවක් මීට ප්‍රථම සිදු කල බවත්, එම නියමු ව්‍යාපෘතිය සිදු කිරිමේදි රජයේ පාර්ශවය මැදිහත් වී වතු සමාගම් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර එම නියමු ව්‍යාපෘතිය සිදු කල යුතු බවයි.
වත්මන් රජය ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර රටේ ජනතාව තව දුරටත් පීඩාවට පත් කරමින් සිටින බව රටේ ජනතාව තේරුම්ගෙන ඇති බවත්, එවන් තත්වයක් මත පළාත් පාලන මැතිවරණයේදි සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ගන්නා බවයි.
හැටන් නගරයේදි කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. වී. රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ “වතු කම්කරුවන්ට තේ වතු ඉඩම් බෙදා දෙන බවට තලවකැලේදි කියලා තියනවා. මේක අපි අවුරුදු 10 කට ප්‍රථම කරපු යෝජනාවක්. ඉන්දියානු රජයේ ආධාර මත පමණක් වතු කම්කරුවන්ගේ නිවාස ගැටළුව විසදීමට නොහැකියි. ජනාධිපතිතුමාට සහයෝගය දක්වනවා කියන රටවලිනුත් සහයෝගය ලබාගෙන ගෙවල් හැදුවොත් තමයි වතු කම්කරුවන්ගේ නිවාස ගැටළුවට විසදුම් ලැබෙන්නේ. ජනාධිපතිතුමා කියනවා කොළඹ ගෙවල් වල සහ හෝටල් වල වැඩට වතුකරයේ ළමයි යනවා කියලා. ඒක නතර කරන්න වැඩ පිලිවෙලක් දියත් කරනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ජනාධිපතිතුමා එක එක තැන්වල එක එක විදිහට කතා කරලා, බොරු පොරොන්දු දීලා රට පාලනය කරන්න යනවා.” යැයි පැවසීය.