Spread the love

තමන් දිවි පරදුවට තබා LTTE සංවිධානයෙන් ඉවත් වී, යුද්ධය අවසන් කිරීමට දායකත්වය සැපයීම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැයි පිල්ලෙයාන් කඳුළු සලමින් විමසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව පිල්ලෙයාන්ගේ නීතීඥයා ලෙස තමන් පිල්ලෙයාන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවත්, පිල්ලෙයාන් යනු කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපේ මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශප්‍රේමියෙක් බවයි ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් පිල්ලෙයාන් සමඟ විනාඩි 30 ක පමණ කාලයක් සාකච්ඡා කළ බවද, පොලිස් නිලධාරීන් හතර දෙනෙකුද සාකච්ඡාව සඳහා සවන්දෙමින් සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.

පිල්ලෙයාන්ට එල්ලවෙ​න චෝදනාව වන්නේ 2006 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදහන් කරවීම බවත්, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා ලෙස තමන් ඔහුගෙන් විමසූ බවත්, එහිදී ඔහු රැඳී සිටියේ මාදුරුඔය හමුදා කඳවුරේ බවට ඔහු ප්‍රකාශ කළ බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.