Spread the love

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 103 දෙනකුට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමට විනාඩි 63ක් වැනි ඉතාම සුළු කාලයක් තුළ එක්තරා සමාගමකට ටෙන්ඩර් ප්‍රදානය කර ඇත්තේ කෙසේදැයි ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතයෝ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරති.

ටෙන්ඩර් කැඳවීමට පෙරම ගුවන් මගීන්ගේ විස්තර ගමනාන්තසහ දින පිළිබඳ විස්තර එක්තරා සමාගමකට දීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව ඇති බවටත් ඊට විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතා ඇති බවටත් චෝදනා කරන ගුවන් ටිකටපත් සැපයුම් ආයතන නියෝජිතයන් මෙය දීර්ඝ කාලයක් පුරා සිදුවන ජාවාරමක් බව පෙන්වා දී ඇත.

රජය පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුව ටෙන්ඩරයක් ආරම්භ කළ පසු එහි කටයුතු අවසන් වන්නේ දින 7 කට පසුවය.

ඊශ්‍රායලය ඇතුළු රටවල විදේශ රැකියා වලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී ලියාපදිංචි වී සිටින ගුවන් ටිකට්පත් ආයතන 25 ක් පමණ නොසලකා හරිමින් එක් ආයතනයකට පමණක් වාසී වන අන්දමින් ලංසු කැඳවා ඇත්තේ කෙසේදැයි ප්‍රශ්න කිරීම හේතුවෙන් ඒ පිළිබඳව විදේශ රැකියා ඒ ජන්සියේ සභාපති ලාල් හෙට්ටි ආරච්චි මහතා, නිලධාරීන් සහ ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමග සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී මේ පිළිබඳ කරුණු හෙළි කර ඇති ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 103 දෙනකු සම්බන්ධයෙන් පසුගිය 03 වැනිදා ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ප්‍රශ්නගත සිදුවීමේ දී ටෙන්ඩර් කැඳවීමටත් පෙර ඇතැම් ආයතන ගුවන් සේවා වලින් ආසන වෙන් කරවාගෙන ඇති අන්දම ලිපි ලේඛන සහ දත්ත ද ශ්‍රී ලංකා විදේශ රැකියා ඒ ජන්සියේ සභාපතිවරයාට ඉදිරිපත් කර ඇත.

ඇතැම් නිලධාරීන් සමග එක්ව එක්තරා සමාගමක් දීර්ඝ කාලයක් පුරාම මෙම වංචනික කටයුත්ත කරන බව ගුවන් ටිකටපත් සැපයුම් ආයතන නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව සොයා බැලීමටත් සිද්ධිය නිලධාරීන් සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව දැනුම් දී ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටි ආරච්චි මහතා මෙම සිද්ධියේ දී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු හෝ වංචනික අන්දමින් කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවද සඳහන් කර ඇත.