කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය
කෘෂිකාර්මික බෝග සඳහා හානි කරන වන ජීවීන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සැලකිය යුතු අර්බුදයකට මුහුණ දී සිටියි. වාණිජ කෘෂිකර්මය මෙන්ම ගෙවතු වගාවන්ට ද මේ තත්ත්වය හානිකර ලෙස බලපා ඇත.
මෙම අහිතකර තත්වය එළවළු, පලතුරු ඇතුළු බවබෝග අස්වැන්න අඩු වීම, මිල ඉහළ යාම සිට ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණ තත්ව දක්වා පුළුල් පරාසයක සෘනාත්මක බලපෑමක් ඇති කරයි.
එනිසාම තම වගාවන්ට වනජිවීන් වෙතින් සිදුවන හානියට තිරසාර විසඳුමක් ලබාදෙන ලෙස කාලයක් තිස්සේ ගොවි සංවිධාන ඇතුළු ප්‍රජා සංවිධාන හා සමාජ කණ්ඩායම් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.
හිතකර පරිසර තත්ත්ව, සුලබ ආහාර, ස්වභාවික විලෝපිකයන් නොමැති වීම ඇතුළු කරුණු හේතුවෙන් පාලනයකින් තොරව ගහන ව්‍යාප්තිය සිදුවන සත්ව විශේෂ කිහිපයක් මෙම වගා හානි වලට වැඩි වශයෙන් හේතු වී තිබේ.
කෙසේ වෙතත් බොහෝ ක්ෂේත්රයන් මෙන්ම මෙම ගැටළුවේදී ද අවශ්‍ය තරම් දත්ත නොමැති වීම සාධනීය තීරණ ගැනීමේ හැකියාවට සීමාකාරී සාධකයක් වී ඇත.
එබැවින් කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා අනෙකුත් අදාළ ආයතන වල සහභාගීත්වයෙන් පිහිටුවන ලද ‘ වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුව’ මඟින් එළඹෙන මාර්තු 15 දින උදේ 8.00 සිට 8.05 දක්වා කාලය තුළ රිලවා, මොනරා, වඳුරා, දඬුලේනා යන වගාවට හානි කරන සත්ව විශේෂ 04 පිළිබඳ මූලික සංගණනයක් සිදු කිරීමට යෝජනා කර තිබේ.
මෙය ගෙවතු, වගා බිම්, පාසල්, පන්සල් ආදී කෘෂිකාර්මික හෝ මිනිසුන් විසින් පරිහරණය කරන පොදු පරිශ්‍රයන්හි හැසිරෙන උක්ත සතුන් වර්ග 04 ට අදාළ සංඛ්‍යා ගණනයට පමණක් සීමා වේ.
ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් මෙම කර්තව්‍යයේ සම්බන්ධීකරණ වගකීම දරනු ලබන අතර, ඊට අදාළ චක්‍රලේඛය ඇමුණුම් 02 ලෙස මේ සමඟ දක්වා ඇත.
කරුණු මෙසේ තිබියදී කිසිදු විද්‍යාත්මක පදනමකින් හෝ නිසි අධ්‍යයනයකින් තොරව මෙම සංගණනය සම්බන්ධව සිදු කරන විවේචන සම්බන්ධව කණගාටු වෙමු.
ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්රමුඛ කරගනිමින් වන සත්ව හානි අවම කර ගැනීම සඳහා ඉදිරිපත් වන තිරසාර විසඳුමකට සහය වන මූලික දත්ත එක් රැස් කරන මෙම සංගණනයට සහයෝගය ලබාදෙන ලෙස සියලු මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.