Spread the love

ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වයි.

ආයුර්වේද වෛද්‍ය සේවා පනතක් ස්ථාපිත කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය විධිමත්ව ස්ථාපිත කිරීම, ආයුර්වේද පනත හා ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීම, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් හට රැකියා ලබාදීම, සෞඛ්‍ය චක්‍රලේඛනවලට අදාළව හිමි දීමනා ලබාගැනීම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය යථාවත් කිරීම ඇතුළු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙරට සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට සේවා සැපයීමේ දී බටහිර වෛද්‍ය සේවාව මෙන්ම, දේශීය සහ ආයුර්වේද වෛද්‍ය සේවාව මගින් ද ඉමහත් සේවාවක් ලබාදෙන බව මෙහිදී පෙන්වා දුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවාවේ සියළු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද මෙහි දී ඉල්ලා සිට තිබෙන බව වැඩිදුරටත් සඳහන්.