Spread the love

කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂප්‍රකාශයක් නිකුත් කරයි.

ඔහු එහි සඳහන් කර ඇත්තේ මේ සඳහා මූලික හේතුව බවට පත්ව ඇත්තේ බහලුම් පරික්ෂාව සඳහා ඇති ඉඩකඩ හා පහසුකම් ප්‍රමාදවීම බවය.

දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ශාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් එහි සඳහන් වේ. 

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව මෙසේ පැවසුවේය.

ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් මාධ්‍ය තුලින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් වී තිබේ. මේ සඳහා මූලික හේතුව වශයෙන් රේගුව හඳුනා ගෙන ඇති කරුන නම් බහලුම් පරීක්ශාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් මඳවීමයි. 

දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ශාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කෙරේ. 

පරීක්ශාව සඳහා රඳවා ගන්නා බහලුම්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාවය සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ශක, ශාක නීරෝධායන, සත්ව නීරෝධායන, NMRA යන ආයතනවල අවශ්‍යතාවය සඳහා වේ. කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුභසිද්ධිය සංදහා ඉටු කල යුතු සේවාවකි. 

දැනට බහලුම් පරීක්ශාව සඳගා ඇති අංගන 03 හි ධාරිතාවය බහලුම් 350 කි. දිනකට බහලුම් 2000ක් ආනයනය කලහොත් ඉන් 800ක් පරික්ශාව සඳහා යොමු වේ. සමහර දිනවල බහලුම් 3000ක් පමන ආනයනය කෙරේ. එවිට ඇතිවන තත්වය විස්තර කිරීම අවශ්‍ය නොවේ. 

රේගුව විසින් පරීක්ශාව සඳහා  තෝරා ගැනෙන්නේ ඉහල අවදානමක් ඇති බහලුම් වේ. දැනට පරීක්ශා කරන බහලුම් වලින් 65% ක රේගු වැරදි සොයා ගැනේ. 

රාජ්‍ය ආදායම සුරක්ශිත කිරීම, හොරබඩු ජාවාරම වැලැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ශා කිරීමෙන් බලාපොරොත්තු වේ. 

දැනට බහලුම් නිශ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිශ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇත. විශේෂයෙන් නිශ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ශණය සඳහා නොපැමිණීම, පිටකොටුවේ ගොඩබෑමට ඇති බහලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගනවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගනවල ඉඩකඩ ඇහිරීම තුලින් වැඩි බහලුම් තොගයක් පරීක්ශා කිරීමට නොහැකිවීම,  අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමානයට අනුයුක්ත නොකිරීම හා මුලු කාලය පුරා රැඳී ඔවුන් සේවයේ නොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත් ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී ඇත.  

එසේම වංචා සහ දූෂන ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ශාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ශා කෙරෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත. 

ශ්‍රී ලංකා රේගුවට භාණ්ඩ පරීක්ශාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර  කෙරවලපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කෙරුනත් ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්ථමාන අර්බුධයට මුහුණ දීමට සිදුවී ඇත. 

කෙසේ වෙතත්, වර්ථමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය යෝජිත රේගු පරීක්ශන මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් තුළින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ශණ අංගන භාවිතය පිලිබඳ අවධානයද යොමු වී ඇත.