Spread the love

 පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා මෙතෙක් සේවයට වාර්තා කර නොමැති බවට වාර්තා වෙයි. .

සැමියා සමග කලක සිට පැවති පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බිරිඳක් විසින් කුලියාපිටිය ජෙය්ෂ්ඨ  පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණ.

ඒ අනුව ජෙය්ෂ්ඨ  පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පැමිණිල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සදහා එම සැමියා සහ අදාළ කාන්තාව කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත කැදව තිබුණා.

ඉන් අනතුරුව එම විමර්ශන නිසි අයුරින් සිදු නොවුන බවට චෝදනා කරමින් අදාළ කාන්තාව විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණ අදාළ කාන්තාවගේ සැමියාට පහරදි ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමට ලක් වූ අදාළ සැමියා කුරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් කුලියාපිටිය අධිකරණයට ද කරුණු වාර්තා කර තිබෙනවා. 

ඒ අනුව කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ.

එවන් පසුබිමක් තුළ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අසනීප නිවාඩු වාර්තා කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් තවදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසුවේ.