Spread the love

අන්තර්ජාල බැංකු ගනුදෙනුවලදී ලබාදෙන OTP හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුර පද වංචනික ලෙස ලබාගනිමින් මෙන්ම තවත් ප්‍රධාන ක්‍රමෝපාය රැසක් ඔස්සේ මූල්‍ය වංචා සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදුකර ඇති විමර්ශන මගින් අනාවරණ වෙයි.

එක් ක්‍රමයක් ලෙස, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් ඔස්සේ හඳුනාගන්නා විවිධ පුද්ගලයින් හට මුදල් ආයෝජනය කිරීමට පොළඹවා මොවුන් මුදල් ලබාගැනීම සිදුකරනු ලබයි.

ඊට අමතරව, සමාජ මාධ්‍ය හරහා හඳුනාගන්නා මැදි වයසේ සහ වැඩිහිටියන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇති කරගෙන එම විශ්වාසය මත විවිධ පැකේජයන් ලෙස මුදල් තැන්පත් කිරීමට පොළඹවා ගැනීමද මෙම සංවිධානාත්මක පිරිසේ තවත් උපක්‍රමයකි.

එමෙන්ම, සමාජයේ ප්‍රසිද්ධ චරිත ලෙස හුවා දක්වමින් ඇමතුම් ලබාදී විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ලබාගන්නා ජාවාරම් සම්බන්ධයෙන් ද මේ දිනවල තොරතුරු වාර්තා වෙයි.

මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් කොතෙකුත් තොරතුරු වාර්තා කළත් ජනතාව එම වංචනික කණ්ඩායම්වලට නිරන්තරයෙන් ගොඳුරු වන බව තවදුරටත් පෙනීයන කරුණකි.