Spread the love

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය සංශෝධනය කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ඊ – විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ, මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,080ක්  පමණක් බවයි.

එය ප්‍රමාණවත් වන්නේ වැඩ කරන දින 13 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පමණක් බවත් එම ප්‍රමාණය අවසන් වීමෙන් පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ කාරණා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන මහජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමක සිදුවන බව සඳහන් කළේ.

එබැවින් මෙම කරුණු සලකාබලා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකි වනපරිදි දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පෙත්සම යළි නොවැම්බර් 06 වනදා දැඳවීමට නියෝග කළා.