Spread the love

එප්පාවල – කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසලදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරු පැදියක් ගැටී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් කල මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව, කුඩා බිළිඳකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව එප්පාවල පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මකුලෑව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි එන්. චන්ද්‍රලතා නැමැති 58 හැවිරිදි සිව් දරු මවක් සහ ඇගේ දියණිය වන ඉන්ද්‍රාණි වීරසිංහ නැමති 38 හැවිරිදි තිදරු මවකි.

එප්පාවල සිට කැකිරාව දෙසට සැරයන්වරයා පැදවූ වෑන් රථය , කැකිරාව දෙස සිට එප්පාවල ප්‍රදේශයට පැමිණෙමින් තිබූ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ දියණියගේ සැමියා නාවික හමුදා සාමාජිකයකු වන බවත් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදරට ගොස් නැවත මකුලෑවට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.

වෑන් රථ රියදුරා වන, පොලිස් සැරයන්වරයාට නින්ද යාම හේතුවෙන් එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.