Spread the love

ඉදිරි වසර පහක කාලය සඳහා රටේ පාලනය සිදුකළ යුත්තේ කවුරුන් ද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව තීරණයක් ගත යුතුව ඇති බවත් රටේ බහුතර ජනතාවක් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මැංගො මැංගෝ හෝටලයේදී පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.

‘ආණ්ඩු පක්ෂය කුමන දේ පැවසුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් පිරිසක් හැර අනෙකුත් කිසිදු පාක්ෂිකයෙකු රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන්නේ නෑ.

අරගලයේ ඉල්ලීම අනුව වසර දෙකක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයා බවට පත් කළද ඉදිරි වසර පහක කාලය සඳහා රටේ පාලනය සිදු කළ යුත්තේ කවුරුන්ද යන්න ප්‍රජාතන්ත්‍රවාදිව තීරණයක් ගත යුතුව තිබෙනවා.

රටේ සම්පත් විකුණන් නැති, රට රැකිය හැකි, රටට ආදරය කරන නායකයෙකු පත්කර ගැනීම සඳහා මේ වන විට ජනතාව පෙළගැසී සිටිනවා’

රට බංකොලොත් වූ බව පෙන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් ජනතාව අපහසුතාවයට පත්කිරීමට කටයුතු කරන බවත් රටේ බහුතර ජනතාවක් සිටිනුයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.