Spread the love

පොදුජන එක්සත් පෙරමුණ විසින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් කිරීම රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්කවීමක් ලෙස දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසෙි අදහස් දැක්වීය.

නාමල් වටා සිටින්නේ කපටියන් ද? මෝඩයන් ද?

නාමල් රාජපක්ෂ මැතිතුමා ජනපතිවරණයට ඉදිරිපත් කරන්න ගත් තීරණය රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්කවීමක් ලෙසයි අපි දකින්නේ. ඉදිරි ජනාධිපතිවරණය තමයි රාජපක්ෂවරුන්ට මුහුණ දීමට සිදුවෙන සමස්ත ඉතිහාසයේම දුෂ්කරම මැතිවරණය. ඒ මැතිවරණයේ දී රාජපක්ෂවරුන් කළ යුතුව තිබුණේ ජනපති රනිල්ගේ කෝට් බෑය තුල සැඟවිලා දුෂ්කර මොහොත පිය මං කිරීමයි. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මැතිතුමා ජනපතිවරණයට ඉදිරිපත් කරන්න තීරණය කිරීම මම නම් දකින්නේ ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමක් ලෙසයි. එක්කෝ නාමල් ගාව දැන් ඉන්නේ දේශපාලනය නොතේරෙන රජතුමාගේ ඇඟේ මැස්සෙක් වැහුව්වාම කඩුවෙන් කෙටුව වඳුරා වගේ මෝඩයින් පිරිසක්. නැතිනම් නාමල්ව විනාශ කිරීමේ කොන්ත්‍රාත් එක භාර ගත්තු කපටියින් පිරිසක්. මේ පිරිස මෝඩයින් වුණත් කපටියන් වුණත් නාමල්ට නම් ඒ අයගෙන් සෙතක් වෙන්නේ නෑ.

පසුගිය කාලයේ රාජපක්ෂවරු ගත් තීන්දු දෙස බැලුවාම රාජපක්ෂවරුන්ගේ දේශපාලන බුද්ධිය අභියෝගයට ලක් වෙනවා. පළමු මෝඩ තීන්දුව තමයි ලක්ෂ 69 නියෝජනය කරන මන්ත්‍රිවරුන් 150ක් පාර්ලිමේන්තුවේ සිටිය දී නාමල්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධූරය භාර දීම. ඒකෙන් අන්තිමට වුණේ පොහොට්ටුවේ පෙති ටික රනිල්ගේ කරගෙන නටුව විතරක් රාජපක්ෂවරුන්ට ඉතිරි වුණු එකයි. දෙවන මෝඩ තීන්දුව තමයි රනිල් පොහොට්ටුවේ පෙති සියල්ල සාක්කුවේ දාගෙන ඉවරයි කියන එක තේරුම් ගන්නේ නැතිව පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න තීරණය කිරීම. තුන්වන තීන්දුව තමයි රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියතාව පහලටම වැටුණු මොහොතේ රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම. මේක හරියට විදුලි කොටද්දී අලවංගුව එළියට දානවා වෙනුවට ශීතකරණය එළියට දැම්මා වගේ වැඩක්.

කර්මාන්ත වැහෙන විට විදුලි මණ්ඩලයේ මාස හතරක ලාභය බිලියන 91ක්

2024 මුල් මාස හයේ රටේ ආර්ථික තත්වය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව දැන් එළි දක්වලා තිබෙනවා. ආර්ථිකය සුබ පැත්තට ගමන් කරනවා කියලා ආණ්ඩුව බොරු කයිවාරු ගැහුව්වත් මේ වාර්තාවට අනුව අපේ වෙළඳ හිඟය, ඒ කියන්නේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර වෙනස 2023 මුල් මාස හයට සාපේක්ෂව 2024 දී රුපියල් බිලියන -1.8ක් දක්වා 20%කින් වැඩි වෙලා. 2023ට සාපේක්ෂව 2024 දී අපේ අපනයන ආදායම වැඩි වෙලා. ඒත් ඊට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වැඩි වෙලා. ඉදිරියේ දී වාහන ආනයන තහනම ඉවත් කළාම මේ පරතරය තවත් වැඩි වෙනවා.

මේ වෙළඳ හිඟය ගෙවුම් ශේෂ අර්බූදයක් බවට පත් නොවන්නේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් එන විදේශ විනිමය ලැබීම් වලින් මේ පරතරය පියවෙන නිසා. නමුත් අපි නැවත ණය ගෙවන්න පටන් ගත්තාම නැවත වතාවක් මේ වෙළඳ හිඟය නිසා ගෙවුම් ශේෂ අර්බූදයක් ඇති වෙනවා. එතකොට ගෙවුම් ශේෂ හිඟය පියවන්න ණය ගන්න වෙනවා. ඒ ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. අන්තිමට වෙන්නේ නැවත වරක් 2022 බිහිවීමයි.

ඉන්දියාව රුසියාව වගේ රටවල් ගෙවුම් ශේෂ අර්බූදයට මුහුණ දුන්නාම රටේ නිෂ්පාදනය ඉහළ නංවා ගත්තා. ඒකෙන් අපනයන ආදායම වැඩි වුණා. ආනයන වියදම අඩු වුණා. ගෙවුම් ශේෂ හිඟයක් වෙනුවට ගෙවුම් ශේෂ අතිරික්තයක් ඇති වුණා. අපි මොකද කලේ? අසාධාරණ විධියට තෙල් මිල ගෑස් මිල ඉහළ දාලා අපේ රටේ නිෂ්පාදන වියදම වැඩි කරලා අපේ භාණ්ඩ වලට ලෝක වෙළඳපොලේ තරග කරන්න බැරි තත්වයක් ඇති කරලා කර්මාන්ත ශාලා වසා දමන මට්ටමට ගෙනාවා. ඒ නිසා අර්බූදයෙන් වසර තුනකට පස්සෙත් අපට වෙනදා වගේම හැමදේම පිටරටින් ගේන්න වෙලා තිබෙනවා.

තෙල්, ගෑස් සහ විදුලිය පිරිවැය ආවරණය වන මිලකට විකුණන්න ඕනි කියලා ආණ්ඩුව තුල 2021 දී තනිවම සටන් කලේ මම. පිරිවැය ආවරණය කිරීමට අපි එකඟයි. නමුත් අසාධාරණ ලෙස ලාභ ගන්න කර්මාන්ත කඩා වැටෙන අයුරින් මිල වැඩි කරපු එකට අපි විරුද්ධයි. ඇයි අපි එහෙම කියන්නේ? විදුලි බල මණ්ඩලය 2023 දී රුපියල් බිලියන 61ක්. 2024 පළමු මාස හතරට පමණක් රුපියල් බිලියන 91ක්. ඒ වගේම තෙල් සංස්ථාවේ 2023 ලාභය රුපියල් බිලියන 120ක්. ආණ්ඩුව මේ ආයතන ලාභ කළා කියලා ආඩම්බර කතා කියන විට අපට විදේශ විනිමය ඉපැයූ කර්මාන්ත දහස් ගණනක් බංකොලොත් වෙලා ඉවරයි.