Spread the love

”කැකිරාවෙන් උඹ පලයන් නැතිනම් ක්ලබ් වසන්නට සිදු වුන දේ සිද්ධ වෙයි” යනුවෙන් සඳහන් කර, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ ගොඩනැගිලිවල පෝස්ටර් අලවා කළු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇති බව කැකිරාව පොලීසිය පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාවේ ලේකම්වරයාට මෙලෙස මරණීය තර්ජනය කර සහ පරුෂ වචන සඳහන් පෝස්ටර් කිහිපයක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගොඩනැගිලි කිහිපයක අලවා තිබූ බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

කැකිරාව රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඊයේ (15දා) සේවයට වාර්තා කළ අවස්ථාවේ කිසියම් පිරිසක් එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට මරණීය තර්ජන එල්ල කර, පරුෂ වචන ඇතුළත් වැකි සදහන් එම පෝස්ටර් අලවා කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකට මෙසේ කළු තෙල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අයුරු දැක පොලීසියට පැමිණිලි කර තිබේ.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ මහතාගේ උපදෙස් මත, කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්. මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාහු කණ්ඩායමක් මීට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළහ.