Spread the love

බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ- රටට අවශ්‍ය තරම් බිත්තර දැන් දේශීය වශයෙන් නිපදවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරයි. .

දැනට අප රටේ දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර මිලියන 8.5 දක්වා ඉහළ ගොස් ඇත.

බිත්තර සඳහා වැට් අය  කිරීම ලබන වසරේ සිට නොව මේ වනවිටත් සියයට 18ක බද්දක් අය කරනු ලබයි. නමුත් මෙම වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ තවදුරටත්  ඉහළ දැමීමට  සූදානමක් නැත.

මේ වනවිට අප රටට බිත්තර ආනයනය කිරීම මුළුමනින්ම අත්හිටුවා තිබේ. දැනට රටපුරා වෙළෙද සැල්වල අලෙවි කරනු ලබන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන ලද බිත්තර වේ. දෛනික පාරිභෝජනයට අවශ්‍ය තරම් බිත්තර මේ වනවිට අපේ රටේ කුකුළු නිෂ්පාදන කරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබයි.

පසුගිය වර්ෂයේ දී මෙරට දෛනික බිත්තර  පරිභෝජනය බිත්තර මිලියන 07ක් වුවද, මෙම වර්ෂයේ මේ වනවිට දෛනික බිත්තර පරිභෝජනය සියයට 15කින් ඉහළ ගොස් තිබේ.

මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර රැසකි. ඒ අනුව පසුගිය වසරේ දී මෙරටට ආනයනය කරන ලද මව්සතුන් ප්‍රමාණය 85,000ක් වුවද, 2024 වසරේ මේ වනවිට මව් සතුන් ප්‍රමාණය 116,000 දක්වා ඉහළ නංවා ඇත. මේ නිසා කුකුළු පැටවුන් සමස්ත ධාරිතාවය ඉක්මවා මේ වනවිට කුකුළු ගොවිපොළවල ස්ථාපිත වී ඇත.

බඩඉරිඟු මිල ඉහළයාම හා බඩඉරිඟු අස්වැන්න අඩුවීම හේතුවෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අපේ රටේ නිපදවන ලද සහල් මෙට්‍රික් ටොන් 100,000ක් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ලබා දීමට පියවර ගනු ලැබීය. සත්ව ආහාර සඳහා ලබා දෙන දායකත්වය වක්‍රව නැවතත් කුකුළු මස් හා බිත්තර වශයෙන් ජනතාවට ම ලැබෙන ප්‍රතිලාභයක් බව ජනතාව දන්නා කරුණකි.

එමෙන්ම බඩඉරිඟු ආනයනය සඳහා බලපත් ලබා දීමේ දී මෙතෙක් ආනයනකරුවන්ට (Importers)  බලපත් ලබා දීමේ පිළිවෙත නවතා දමනු ලැබීය. ඒ වෙනුවට කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ට හා සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ට පමණක් බඩඉරිඟු ආනයන බලපත් ලබා දීමට පියවර ගනු ලැබීය.

සත්ව ආහාර සඳහා බඩඉරිඟු නිෂ්පාදනය දේශීය වශයෙන් ඉහළ නැංවීමට කන්දකාඩු ගොවිපොළේ බඩඉරිඟු වගා කිරීම සඳහා ඉඩම් ලබා දීමේ දී ද කුකුළු ගොවිපොළ අයිතිකරුවන් හා සත්ව ආහාර නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලදී.

කුකුළු කර්මාන්තය සඳහා රජයට කිසිදු වැඩ පිළිවෙළක් නැතැයි මෙම බිත්තර සංගමය කියා තිබුන ද මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන්නේ රජය විසින් අනුගමනය කළ වැඩ පිළිවෙළ නිසාය.