Spread the love

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නඩුව වැරදියි. ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ

ජනපතිවරණය පැවැත්විය යුතු දිනය පිළිබඳ ව්‍යවස්ථාවේ ව්‍යාකූලත්වයක් තිබෙන නිසා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු ජනපතිවරණය පැවැත්වීම වලක්වන්න කියලා ව්‍යාපාරිකයෙක් උසාවි ගිහින්. මේ නඩුවට කිසිම නීතිමය පදනමක් නැති නිසා බොහෝ දෙනෙක් මේක නොසලකා හරිවි. නමුත් අතීත අත්දැකීමක් නිසා අපි නම් මේකට දැඩි අවධානයක් යොමු කරනවා. 2023 පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කරපු වෙලාවේ එජාපයට සම්බන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා කිව්වා, ආර්ථික අර්බූදය නිසා ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා ඡන්දය පවත්වන්න එපා කියලා. හැමෝම ඒ නඩුවට හිනා වුණා. නමුත් අන්තිමේ දී ආණ්ඩුවත් උසාවියට ඇවිත් ඉදිරිපත් කලේ ඒ තර්කයමයි. කොහොම හරි දී පුංචි ඡන්දය අතුරුදහන් වුණා. අදටත් සොයා ගන්න නෑ.

මේ නඩුවේ පදනම වෙලා තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධූර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කලත් ඒ අනුව 83(ආ) වගන්තියේ තිබෙන සය අවුරුදු කියන වචනය පස් අවුරුදු කියා සංශෝධනය කරන්න අසමත් වීමෙන් ව්‍යාකූලත්වය ඇති වෙලා කියන එකයි. ජනාධිපති ධූර කාලය පිළිබඳ කියන්නේ 30(2) වගන්තියේ. එතැන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් කියලා සංශෝධනය කරලා තිබෙනවා. 83 (ආ) වගන්තියේ විධිවිධාන තිබෙන්නේ ජනාධිපති ධූර කාලය දිගු කරනවා නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන.