Spread the love

මුල්කිරිගල ගුණරත්න

බස් රියකදී මිතුරු වූ කාන්තාවක් හුංගම ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි අටදරු මවකගේ නිවසට ගොස් එක්ව කා බී සිහිසුන් වීමට යමක් දී ඇය පැළදසිටි රුපියල් හයලක්ෂ අසූදහසක් (680000) ක් පමණ වටිනා රන් ආභරණ සොරාගෙන පලාගොස් ඇතැයි හුංගම පොලිසිය පවසයි.

 සොරාගත් රන් ආභරණ අතර රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා පවුම් 2 3/4 ක් බරැති රන්මාලයක් , රුපියල් 165000 ක් පමණ වටිනා පවුම් 1 1/4 ක් බරැති රන් වලල්ලක්, රුපියල් ලක්ෂයක් පමණ වටිනා පවුම් 3/4 බරැති රන් මුද්දක් සහ රුපියල් 3000 ක් පමණ වටිනා කුඩා ජංගම දුරකථනයක් වෙයි. 

හුංගම තිස්ස පාරේ පදිංචි කේ.එච්.දිසිනෝනා නමැත්තිය ඉකුත් 28 දා සිද්ධිය පිලිබදව හුංගම පොලිසියට පැමිණිලි කර තිබිණි .
සැමියා අසනීපව ලොකු පුතාගේ නිවසේ සිටින බැවින් නිවසේ තනිවම සිටින මෙම පැමිණිලි කාරිය ඉකුත් 23 දා අම්බලන්ගොඩ ප්‍රදේශයේ මළගෙදරකට ගොස් තිබේ . 25 දා නැවත හුංගම නිවස බලා පැමිණෙමින් සිටියදී ගාල්ල ප්‍රදේශයේදී ඇය පැමිණි බස්‍ රියට නැගි කාන්තාවක් යාබද අසුනේ වාඩිවී ඇය සමග සුහදව කතා කර මිතුරු වී තිබේ . වියපත් කාන්තාව අලුත් මිතුරියට තමා ගැන සියලු තොරතුරු පවසා ඇති අතර දිනෙක ඇයගේ නිවසට පැමිණීමට කැමති බව පවසා ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන දෙදෙනා වෙන්ව ගොස් තිබේ .
ඉකුත් 28 දා දුරකථන ඇමතුමක් දුන් මිතුරිය එදින හුංගම නිවසට පැමිණෙන බව දන්වා තිබේ .තම මිතුරියට දිවා ආහාරයද සූදානම් කල පැමිණිලි කාරිය ඇයට කෑමට මී කිරි හට්ටියක් ද රැගෙන විත් තිබේ .
පසුව ආ ගිය තොරතුරු කතා කර දිවා ආහාරය ද ගත්පසු සිදුවූ කිසිම දෙයක් තමා නොදන්නා බව පැමිණිලි කාරිය ප්‍රකාශ කල බව පොලිසිය පැවසීය . තමා අවදි වන විට හවස් වී තිබූ බවත් එවිට නිවසේ කිසිවෙකු නොසිටි බවත් සිහිසුන්ව සිටින තමාගේ කණකර ගලවා ගෙන ජංගම දුරකථනයද සොරාගෙන මිතුරිය පලාගොස් තිබූ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .
සැකකාරිය අත් අඩංගුවට ගැනිමට හුංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .