Spread the love

2014 – 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3416 අලාභයක් සිදුව ඇතිබව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය පිරවුම්හල් හිමියන්ට අදාළ චක්‍රලේකයක් නිකුත් කිරීම වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීමෙන් මෙම අලාභය සිදුව තිබේ.

ඒ අනුව මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙයි.

එම වංචාව සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 07ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව දැනුම් දී තිබේ.

බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31021 මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 05 සත 85ක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 07යි සත 50 ක් LSD සඳහා රුපියල් 06 සත 96 ක් පාරිභෝගියකයින් වැඩිපුර ගෙවන බව එහිදි අනාවරණයවී තිබේ.

එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කිරීම පිළිබඳවද කාරක සභාව විමසා තිබේ.

කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට විදෙස්ගතව ඇති බවයි.

මෙවැනි මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස වැඩිදුරටත් එම කාරක සභාව දැනුම්දී තිබේ.