Spread the love


නිමල් රාජපක්ෂ –

ශ්‍රි ලංකාවේ ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවයක් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකාවේ පිලීපීන තානාපති ලියෝ ටිටෝ ඕසන්( LEO TITO L. AUSAN) මහතා පැවසීය.
තානාපතිවරයා මෙම අදහස් පල කලේ 2024.06.20 ( අද) දින පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේදීය.

අමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේදි තානාපතිවරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පිලිපීන ජාතික සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. එබැවින් වසර ගණනාවකට පෙර නැවතුනු පිලීපිනයේ මැනිලා නුවර සිට කටුනායක දක්වා පැමිණි සෘජු ගුවන් සේවාව නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවද තානාපතිවරයා පැවසීය.

මෙම සෘජු ගුවන් සේවාව ආරම්භ කිරීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත්, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු සලසන ලෙසත්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සාගර කොටකදෙනිය මහතාට අමාත්‍යවරයා විසින් මෙම සාකච්චාවේදී උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම මුළු ලොවෙහිම නාවික කේෂත්‍රයේ ප්‍රබල ස්ථානයක පසු වන පිලීපීනය විසින් ශ්‍රි ලාංකික නාවිකයින් පුහුණු කිරීම සදහා නාවීන තාක්ෂණයෙන් යුතු පුහුණු පාසලක් ආරම්භ කිරීමට කැමැත්ත පල කර සිටින බවද තානාපතිවරයා අමාත්‍යවරයාට පැවසීය.

මේ සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මහපොල සමුද්‍රීය විද්‍යාතනය සමඟ ඒකාබද්ධ වැඩපිලිවෙලක් සැකසීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිලීපීන තානාපතිවරයාට පවසන ලද අතර පිලිපීන රජය විසින් ශ්‍රි ලංකාවට විවිධ අවස්ථාවන් වලදී ලබා දුන් සහයන් පිලිබඳවද අමාත්‍යවරයා විසින් සිය ස්තූතිය තානාපතිවරයාට පිරිනමන ලදී.

මෙම අවස්ථාවට පිලීපීනයේ ශ්‍රි ලංකා කොන්සල් ජෙනරල් හියු ශ්‍රියාල් දිසානායක( HUGH SRIYAL DISSANAYAKE) මහතා සහ පිලිපීන නියෝජ්‍ය කොන්සල් ජෙනරල් මාරියා ටාන්‍යා ( MARIA TANYA) මහත්මියද සහභාගි වුහ .