Spread the love

කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝන් විමෙන් සංවිධානය ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු විය.

මෙම අවස්ථාවට එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත මෙල්කි පෙරේරා, එම සංවිධානයේ කැනඩා, ඔස්ටේ්‍රලියා, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක් විය. විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්,ව්‍යාපාරිකයින්, මාධ්‍යවේදීන්, ආචාර්යවරුන්, මෙම අවස්ථාවට එක්වීම ද විශේෂත්වයකි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ලෝකයේ රටවල් විසින් ළඟා කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක දහහත අතර පස් වෙනි කරුණ ලෙස ඉතා වැදගත් ස්ථානයක් දී ඇති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙරට සම්බන්ධයෙන් ඉතා සාධනීය මට්ටමක පවත්නා බවයි. ලොව බොහෝ රටවල මේ කරුණ සම්බන්ධ විවිධ ගැටලු‍ පවතින අතර බාලිකා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එය පොදු ලක්ෂණයක් වුවත් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය පවා බිහි කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ සාධනීය පූර්වාදර්ශ අප රට සපයා ඇතැයි ද මෙහි දී ඒ මහතා කී ය.

තව වසර පහක් ඉක්ම යද්දී සෑම ක්ෂේත්‍රයක ම ප්‍රමුඛත්වය ගනිමින් කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි කී සුසිල් ප්‍රේමජයන්ත මහතා පරිපාලන ක්ෂේත්‍රය තුළ ද බහුතරයක් සිටිනුයේ කාන්තාවන් බව පැවසුවේ ය.

එහෙත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 225 දෙනා අතර කාන්තා නියෝජනය ඇත්තේ 12 දෙනකුගේ තරම් අතළොස්සක් බවත් මේ තත්වය වෙනස් කර දේශපාලන ක්ෂේත්‍රය තුළ පක්ෂ භේදයකින් තොර ව කාන්තා නියෝජනය වැඩි කිරීම මගින් දූෂණ වංචාවලින් තොර රටක් නිර්මාණය කළ හැකි වනු ඇතැයි කියා තමන් විශ්වාස කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

එසේ ම අනිකුත් ක්ෂේත්‍රවල මෙන් ම අධ්‍යාපන ක්‍්ෂේත්‍රය තුළ ද ඉදිරි අභියෝගයක් වූ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ද මෙරට බාලිකාවන්ට පහසුවෙන් ම ජයගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පැවසී ය. එම අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීම සඳහා හුරු විය හැකි අතර ම වෘත්තීය පුහුණුවෙන් ඔබ්බට ගොස් නවෝත්පාදන හා ඒවා සඳහා සුදුසු වෙළෙඳපොළ සකසා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම දක්වා ගමන් කළ යුතු ව තිබෙන බවත් ඒ මහතා මෙහි දී පැවසී ය.