Spread the love

ආනයන සීමා පැනවූ සමයේදී රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දීය.

ඒ අතර යතුරු පැදි 38,144ක් සහ මෝටර් රථ 6,286ක් වන බව අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

එහිදී රථ වාහන ආනයන සඳහා අවසර ලබාදීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබුණි.

මෙම හමුවේදී දේශීය රථවාහන නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසටය. 

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් පවසා ඇත්තේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවය. 

කෙසේ වෙතත් දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහාය දක්වන බවද අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී සඳහන් කර ඇත.