Spread the love

කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලුඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළාය.

ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමට මේ වනවිට ක්‍රමයෙන් පහළ බසින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 161,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වය මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බවය.