Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පක්ෂ කාර්යාලයත් දෙකේම අයිතිය අපිට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න අපි ගත්තේ නීත්‍යානුකූල පියවරයි. ඒ නිසා ළඟදීම මෙම පක්ෂයේ තනතුරුවල තිබෙන වැඩ බලන කෑළි සියල්ලම අවසන් වෙනවා. ඒ සමග මෙම පක්ෂය නව ජවයකින් ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරනවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා හම්බන්තොට පැවැති මහජන හමුවකට සහභාගි වෙමිනි. වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.

අපි දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ වගේම අපි අපේ දේශපාලනය කවදාහරි අවසන් කරන්නෙත් මේ පක්ෂෙන්. ඒ නිසා අරයගේ වැරදි, මෙයාගේ වැරදි හොයා හොයා ඉන්න වේලාවක් නෑ. අපි දැන් කළ යුත්තේ පසුගිය කාලයේ කඩා වැටුනු මේ පක්ෂය නැවත ගොඩ නැගීමයි.

ඒ නිසා මින්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියළා පාර්ශ්ව දෙක තුනක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියළා කියන්නේ එක පක්ෂයක් විතරයි. ඒ වගේම අගු පිළ්වල මින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම් පැවැත්වෙන්නේ නැහැ. අපේ පක්ෂයේ රැස්වීම් මින්පසු තියන්නේ පක්ෂ මුලස්ථානයේ පමණයි.