Spread the love

රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ප්‍රභල කම්පනයක් නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ දැක්මක් සහිත නායකයින් හරහා සිදුකළයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ (01) ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව Groundbreakers 5.0 අමතමින් ඔහු සඳහන් කළේ.

පුරුදු ලෙසම කෘෂිකර්මාන්තය, අනෙකුත් කර්මාන්ත සහ ජීවනරටා පවත්වාගනිමින් සමාජ පරිවර්තනයක් සිදුකළ නොහැකි බවද, සමාජ පරිවර්තනයක් සිදුකිරීමට නම් නව දේ නිර්මාණය කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ සඳහා R&D ක්ෂේත්‍රයට විශාල වගකීමක් ඇති නමුත් එය අද මෙරට තුළ අත්හරින ලද ක්ෂේත්‍රයක් බවද, නව පර්යේෂකයන්, නව සංකල්ප, අලුත් අදහස් සහ අලුත් වෙළඳපළවල් අවශ්‍ය බැවින් ඒ සඳහා ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල නියැලෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සමඟ සාකච්ඡා සභාවක් එළැඹෙන ජුනි 29 වෙනිදා සූදානම් කර ඇති බවද, ඔවුන් සමග එක්ව නව අදියරකට රට පරිවර්තනය කිරීමට කැපවන බවද ඔහු සඳහන් කළේය

එමෙන්ම දේශපාලනයට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකට ප්‍රභලව බලපෑමක් කළ හැකි, ඉදිරි අනාගතය දකින සහ ඒ අනාගතයට සැලසුම් හදන, දැක්මක් සහිත, අභියෝග ජයගත හැකි නායකයන් අවශ්‍ය බවද, රටේ පරිවර්තනයට නායකත්වය දීම සඳහා රට නැමති දේහයේ දරා ඉන්නා ඇටසැකිලි පද්ධතිය වන තාක්ෂණවේදීන් හා ඉංජිනේරු වෘත්තිකයන් සැමට එක්වන ලෙස ආරාධනා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.