Spread the love

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

2012 දී යුද්ධයෙන් පස්සේ මේ පිළිබඳව වැදගත් අධ්‍යයනයක් කරපු පිරිසක්. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි රජයට අයිති බහුතර කොටස් තියෙන මොබිටෙල් සමාගමෙන් මේ කටයුත්ත කළේ. හැබැයි ඒ මොබිටෙල් සමාගම කිව්වා අවුරුදු පහකට, හයකට පස්සේ මේක නැවතත් යාවත්කාලීන කරන්න ඕනෙයි කියලා. ඒ අනුව 2018 ඉඳන් යෝජනා ඇවිල්ලා තියෙනවා. පසුව කොවිඩ් වසංගතය ආවට පස්සේ ආරක්ෂක ප්‍රශ්නයකට අමතරව සෞඛ්‍ය ප්‍රශ්නයකුත් මතු වූ නිසා මේ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල මොබිටෙල් ආයතනයට ලබා දුන්නා. ඒ මොබිටෙල් ආයතනය ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා ඒ විධිමත් යෝජනාව භාර දීලා තිබියදීත් ඒක නොතකා හරිමින් තමයි මේ නව යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා 2023 සැප්තැම්බර් මාසෙදි. ඒ වගේම මේ යෝජනා සමීක්ෂණයට පත් කරපු නිලධාරී කණ්ඩායම, විශේෂඥ කණ්ඩායම බොහොම පැහැදිලිව තමන්ගේ වාර්තාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව මේ අදාළ රජයේ ක්‍රියාදාමයට බොහොම එකඟයි, ඒකත් සුදුසු යෝජනාවක් බව පිළිඅරගෙන තියෙනවා.

මේ යෝජනාව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට, ඒ වගේම IMF එක්ක ඇතිකරගත් ගිවිසුමට අදාළ යහපාලන මූලධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඒ වගේම වීසා අවශ්‍යතාව පිළිබඳව ගත්තොත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අදත් මතුවෙලා තියෙනවා අයිඑස්අයිඑස් තර්ජනය. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අපි දැක්කා කෝවිඩ් කාලෙදි, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටයි කියලා, තක්කඩි විසින් මේ රටට ගෙනාපු සංචාරකයන් හේතුවෙන්, දස දහස් ගාණක් මේ රටේ මිනිස්සු මියගිය හැටි. ඒ වගේම, දත්ත, මේ සියල්ල රජය සතු වෙන්න ඕනේ, ඒ අදාළ සංචාරකයින් රටට ආවට පස්සෙ කොහෙද කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, ඔවුන්ගේ දත්ත මොනවද කියන එක.

ප්‍රධාන ම කාරණය, මෙතෙක් කාලයක් අපේ රටේ ඒ Immigration දෙපාර්තමේන්තුව කරගෙන ගිය වැඩසටහනක් මේ දත්ත සපයා ගැනීමේ වැඩසටහන, විදේශීය සමාගමකට පවරා දීම. දැන් කියනවා මේ වී. එෆ්. එස්. එක කියන්නේ හැමෝගෙම කරනවා කියලා. නමුත් වෙනත් රටවල දේවල් ඒ තානාපති කාර් යාල හරහා කරනවා මිසක් වී. එෆ්. එස්. එස්. එක කොහෙවත් කරන්නේ නෑ. දෙක මේ එතන ඉන්නේ වී. එෆ්. එස්. එක නෙමෙයි ප්‍රධාන ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ අයි වි එස් ජීපීඑස් කියන සමාගමත් එක්ක. ඒක නිසා මේ සභාවත්, මේ රටත් බොහෝ දුරට නොමඟ යවලා තියෙනවා, මේ කියන කාරණය මත. ඒ වගේම, මේ වීසා ගාස්තු, අද ගත්තහම මේ වීසා ගාස්තු, මම අදත් බැලුවා. මේ මෑතදී ආපු අයගේ වීසා ගාස්තුව, ඩොලර් හැත්ත පහයි. සේවා ගාස්තුව අදාළ ආයතනය ඩොලර් දහ අටයි ශත පනහයි. ඒ වගේම පහසුකම් ගාස්තුවක් ඩොලර් හතයි සත විසි හතයි. එකතුව ඩොලර් සීයයි සත හැත්ත හතයි. මේ ඩොලර් පනහට තිබිච්ච වීසා එක. දැන් මේක අපි සංසන්දනය කරන්න ඕනේ ලංකාවෙන් ස්විස්ටර්ලන්තයට යනවද, ලංකාවේ එංගලන්තෙට යන අයත් එක්ක නෙවෙයි. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන මාලදිවයිනට, තායිලන්තයට, ඉන්දියාවට.