Spread the love

ජාතික වෙසක් කලාපයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් දළදා මාලිගාව අබියස දී පිණ්ඩපාත චාරිකා වැඩසටහනක් ශියාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 22දින ආරම්භ කෙරිණ.
ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශියාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරිය උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්, මධ්‍යම පළාත් ආණඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත, අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා භික්ෂූන් වහන්සේලා පන්සිය නමක්(500) සහභාගී වූහ.
ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ කරන ලද පිණ්ඩපාත චාරිකාව මාර්ග පහක් ඔස්සේ මහනුවර නගරයම ආවරණය කරමින් ස්ථාන පහක් වෙත භික්ෂූන් වහන්සේලා වැඩම කිරීම සිදු විය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව, හේමමාලී බාලිකා විද්‍යාලය ,මහනුවර පොලිස් ස්ථානය හා මාර්ග සංවර්ධන අධිකාරිය යන ස්ථානයන්හි භික්ෂූන් වහන්සේලා පන්සිය නම සඳහා දානය පිළිගැන්වීම සිදුකෙරෙන.
මෙම මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් විය