Spread the love

රේගු නිලධාරීන්ට වැටලීම් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඔවුන් සිදුකරන වැටලීම් ප්‍රමාණය වැඩිකිරීම නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් හෙලි වී ඇති පරිදි 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අතර කාලය තුළදී රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රුපියල් කෝටී 2422 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඊයේ සවස රුවන්වැල්ලදී පැවති වැඩසටහනකින් අනතුරුව ඉහත විගණන වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාමෙින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රේගු නිලධාරීන් සිදුකරන වැටලීම් සඳහා ලෝකයේ ඕනෑම රේගුවකින් රේගු නිලධාරීන්ට , ඔත්තු සපයන්නන්ට මෙන්ම රේගු නිලධාරීන්ට සහාය වන අනිකුත් දෙපාර්තමේන්තු නිලධාරීන්ටද ත්‍යාග මුදල් පිරිනැමීම සිදුකරන බවයි.
දණ්ඩන වශයෙන් ලබාගන්නා මුදලින් මෙම ත්‍යාග මුදල් ලබාදෙන අතර ,සිදුකරන වැටලීම් වැඩි වන විට ලබාදෙන ත්‍යාග ප්‍රමාණයද ඉහළ යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ හා සමානවම රේගු ආදායමද වැඩි වී ඇති බවයි.
ඒ අනුව මීට වසර කිහිපයකට පෙර රේගුවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 700 ක් පමණ වුවද එම ආදායම මේ වන විට රුපියල් බිලියන 1000 ද ඉක්මවා ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
රේගුව මගින් ලබාගන්නා දඩ මුදල් වලින් ත්‍යාග ලබාදීමේදී මෙතෙක් කලත් එම දඩ මුදලින් 30 % ක් රජයටත්, 20 % ක් වන්දි අරමුදලට සහ 50 % ක් වැටලීම් කළ නිලධාරීන්ට ලබාදීම සිදුවුවද , රේගු වෘත්තීය සමිති සහ රේගු පාලන අධිකාරිය සමඟ දිගින් දිගටම පැවැත්වූ සාකච්ඡා වලදී එකඟ වූ පරිදි මෙම තත්ත්වය වෙනස් කර ඇති බව යි.
ඒ අනුව මේ වන විට එම රේගු දඩ මුදල් වලින් රජයට ලැබෙන ප්‍රමාණය 50 % ක් ලෙසත් , වන්දි අරමුදලට 5 % ක් සහ රේගු නිලධාරීන්ට 45 % ක් ලෙසත් සංශෝධනය කර , එය නීතියක් ලෙස සැකසීමට මුදල් අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කරමින් පවතින බවද ඔහු සදහන් කළේය.
එසේම රේගු ත්‍යාග මුදල් බෙදීමේ කාර්යභාරය රේගු ආඥා පනත මගින්ම රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට පැවරුණු කාර්යයක් බවට පත්කොට ඇති බවත් , මෙම ආයතන වල බොහෝ විට නීතියෙන් පිටත දෙයක් සිදු නොවන බව තමන් විශ්වාස කරන බවද පැවසුවේය.