Apr 16, 2024
Spread the love

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා වනු ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

කෙසේ වෙතත් ලබන ජුනි මාසයට පෙර එම කටයුතු අනිවාර්යයෙන්ම අවසන් කරන බවද රත්නායක මහතා කීය.

ණය හිමියන් සමග පැවති සාකච්ඡාවේදී කරුණු හතරක් පිළිබඳව අවධානය යොමු වූ අතර එයින් කරුණු දෙකකට දෙපාර්ශවයේම එකඟතාවය ලැබුණු බව රත්නායක මහතා සඳහන් කළේය.

මින් පෙර පැවති සාකච්ඡා වලදී ණය හිමියන් සහ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කාරණා රාශියක් සම්බන්ධයෙන් එකඟතාවය⁣ට පැමිණි බව කී රත්නායක මහතා තවමත් එකඟතාවයට පැමිණීමට නොහැකි වී ඇත්තේ අවසන් කාරණා හතරෙන් දෙකක් ගැන පමණක් බවද කීය.

පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම යනු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවද රත්නායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලුම ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සිය තෘප්තිය ප්‍රකාශ කර ඇති බවද සාගල රත්නායක මහතා කීය.

ද්විපාර්ශ්වික ණය කරුවන්ගෙන් සමන්විත නිල ණයකරුවන්ගේ කමිටුව (OCC) සමඟ ලංකාව සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා තිබෙන බව කී රත්නායක මහතා ලංකාව චීනය සමඟ ද සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා ඇතැයි සඳහන් කළේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේය.