Spread the love

දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහුනාටකවල ගොදුරු බවට පත් නොවන ලෙසත් දේශපාලන වේදිකාවල සුරංගනා කථාවලට ඇහුම්කන් දී මේ රටේ අනාගතය පරදුවට නොතියන ලෙසත් ජාතිකවාදී, ප්‍රගතිශීලී, දෑහිතකාමී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ සියලු ජනතාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන සියල්ලන් එක මිටට තබා පැරදවිය හැකි නිර්මාණය වෙමින් පවතින නව දේශපාලන බලවේගය සමඟ සිටගන්නා ලෙස ඇරයුම්කර සිටියි.

“77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!”යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය කැඳවා තිබූ “ජන පෙළගැස්ම” විශේෂ ජන සමුළුව අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය. එම විශේෂ ජන සමුළුව මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී මුළු දුන්නේ ය.

මෙම විශේෂ ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.

1977 දී මෙරටට හඳුන්වා දුන් පරාධීන ආර්ථික මාවත හේතුවෙන් ගිලන් වූ අපගේ මාතෘභූමිය සුවපත් කෙරුමට සමත්, නැවුම් මාවතකට මුල්ගල තැබෙන මෙම අවස්ථාවට, උත්තර ලංකා සභාගය හා ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා සන්ධානගත වීමට නියමිත දේශපාලන සන්ධාන සහ දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් සුබ පැතුම් එක් කිරීම ද සිදු කෙරිණි.

ඒ අනුව මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඩලස් අලහප්පෙරුම, “දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!” සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.

පැමිණි පිරිස පිළිගැනීම උත්තර ලංකා සභාගයේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කළ අතර “1977 කොඩිවිනය අවසන් කරමු!” නමින් වාර්තාමය වැඩසටහනක් ද මෙහි දී ප්‍රදර්ශනය කෙරිණි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතූළු විද්වත් වෘත්තිකයයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.