Spread the love

පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දුනහොත් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව ඊට සහාය දැක්විය යුතුය.

රාජ්‍ය ආදායම වර්ධනය කිරීමේ ක්‍රමවේද, ක්‍රම සහ විධි කාරක සභාවට ඉදිරිපත් කර තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට බලය අවශ්‍ය බව රණවක මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ගනුදෙනු සඳහා ඩිජිටල් වේදිකාවෙන් සැකසෙයි. ඒ යටතේ e රුපියලක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ආදිය සැකසීමට පියවර ගැනේ.

වියදම් සහ ආදායම් රැස් කිරීම Digital වේදිකාවක් ඔස්සේ සිදුකිරීමෙන් සියලු ගනුදෙනු වාර්තා වන තත්ත්වයක් නිර්මාණය කළ හැකිය. ඒ මත පදනම්ව බදු අය කිරීම විධිමත් කළ හැකි බව රණවක මහතාගේ අදහසයි.

වැඩපිළිවෙල මාස හයක් තුළ සාර්ථක කරමින් රාජ්‍ය ආදායම වර්ධනය කළ හැකි බවද හෙතෙම අවධාරණය කරයි. ඒ සඳහා ක්‍රම සහ විධි කමිටුවට අවශ්‍ය බලතල ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් රණවක මහතා ඉල්ලයි.

ඉන්ධන අර්බුදය විසඳීමට QR කේත ක්‍රමය ඵලදායි විය. Digital වේදිකාවද ඒ ආකාරයෙන්ම ඵලදායක බව රණවක මහතා පෙන්වාදෙයි.

අවුරුදු දහ අටට වැඩි සියලු පුද්ගලයන්ට බදු ලිපිගොනු අංක ලබාදීමට රජය සැලසුම් කළේය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය මත එය ඵලදායි සැලසුමක් නොවේ. වඩාත් ප්‍රායෝගික වන්නේ බදු ගෙවිය යුතු සියලු පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීම බව රණවක මහතා අවධාරණය කරයි. දැනට බදු ගෙවිය යුතු ලක්ෂ පහළොවක පමණ පිරිසක් බදු ගෙවීම පැහැර හැර තිබේ.

ඩිජිටල් වේදිකාව මගින් ඔවුන්ගෙන් නිවැරදිව බදු අය කිරීමට හැකියාව ලැබෙන බව රණවක මහතා පෙන්වා දෙයි. එය දේශීය ආදායම් වර්ධනයට ප්‍රධානතම සාධකය බවද පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම සඳහන් කළේය.