Spread the love

.

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (05) තීරණය කරනු ලැබීය.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් මෙහිදී අවධාරණය විය.නමුත් බිත්තරයක් රුපියල් 60 දක්වා ඉහළ දැමීම කිසිසේත් සාධාරණ නොවන බැවින් උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා , පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බවද මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට ලේයර් මව්සතුන් 130,000ක් සිටින අතර අවශ්‍යතාවය 80,000ක් වේ. අවශ්‍යතාවටත් වඩා මව්සතුන් සිටියදී පැටව් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නොයාමට හේතුව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.