Spread the love

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින් මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.

ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධ‍ව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන්නා. මෙම සංවර්ධන වැඩ කටයුතු 2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. එහිදී ඉතා තරකාරී කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍යයයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම සඳහා ගොවි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම බෝග වගාවන් සහ අස්වනු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන, කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කර රජය සහ පුද්ගලික අංශද සහභාගී කර ‍ගැනීමට බලාපොරොත්තු වෙනවා.

දැනට අත්හදා බැලීම් ලෙස සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන 25 ක් තෝරා ගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ආධාර ලැබෙනවා.