Spread the love

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අද පෙරවරු 11ට.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වුවාය.

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

සැකකරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කළාය.

“ස්වාමිනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබු අතිරේක ලේකම්වරයා ඉවත්කරලා ඔහුගේ වගකීම් සමන් රත්නායක නැමැති සැකකරුට පවරලා තිබෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නේ මෙම සැකකරුගේ පුර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරික්ෂා කළ යුතුයි. නමුත් මෙහිදි එය මඟහැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයිම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැරහැර තිබෙනවා. ස්වාමිනි ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇත්තේම ඉන් ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති වටපිටාවක. එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් ජාතික තලයේ හිඟයක් පැවත නැහැ. එමෙන්ම ස්වාමිනි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබාගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයක් භාවිත කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.”