Spread the love

ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලිට්‍රෝ ගෑස් යන සමාගම් ද මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 52ක් කඩිනමින් විකුණා දමා ලැබෙන කොමිස් මුදලෙන් “තම ඉදිරි ජනාධිපතිවරණ අරමුදල්” තර කර ගැනීම ජනාධිපතිවරයාගේ මූලික අරමුණ බවත් එසේම මෙම රාජ්‍ය ව්‍යවසායන් ඉන්දියානු සමාගම් වළල්ලක් අතට පත් කිරීමේ තම කොන්ත්‍රාත්තුව ද ජනාධිපතිවරයා එමගින් ඉටු කරගන්නා බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එම වෑයම පැරදවීම සඳහා සියලු වාමවාදී, ජාතිකවාදී, ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවලට එකම වේදිකාවකට ගොඩවදින ලෙස ඇරයුම් කර සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

“ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය”

“පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියා පැසිෆික් කෘෂි සමුළුව අමතමින් පවසනවා, ‘අපේ රටේ ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අපේ ආණ්ඩුව සිදු කරනවා’ කියලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු වන රනිල් වික්‍රමසිංහට පැවරී තිබෙන්නේ පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම, ඔහුට හිමි ධුර කාලයට අදාළව පවත්වාගෙන යෑම. ගෝඨාභය රාජපක්ෂ ජනවරම ලබා ගත්තේ ‘සෞභාග්‍යයේ දැක්ම’ නම් වූ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයටයි. ඒ වගේම අපි දන්නවා, රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරන්න ඡන්දය දුන් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්වූයේ ද ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් කරගෙනයි, කියලා. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන්ව තිබෙනවා, ‘කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන අතර විකුණා දමා ඇති රාජ්‍ය ආයතන ද යළි රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත’ කියා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවල කියැවුණා, ‘චීනයට ලබා දුන් හම්බන්තොට වරාය ද යළි අත්පත් කරගන්නවා’ කියා.

රනිල්ගේ කොන්ත්‍රාත් ‘තුන’

ඒ අනුව ඉතා පැහැදිලියි, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව සිදුකරමින් සිටින පෞද්ගලීකරණ ක්‍රියාවලිය ජනවරමට පටහැනියි, කියා. ජනවරමට පටහැනි වුවත් උපායමාර්ගික වැදගත්කමකින් යුත්, ආර්ථික මර්මස්ථාන නොරටුන් අතට පත්කිරීමේ කොන්ත්‍රාත්තුව, ඔහුට එක අතකින් පැවරී තිබෙනවා. ඒ වගේම මේ රට බෙදා වෙන් කිරීමේ කොන්ත්‍රාත්තුව ද වික්‍රමසිංහ මහතාට පැවරී තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි අර්ධ යටත්විජිත කොලනිය බවට පත් කිරීමේ කොන්ත්‍රාත්තුව ද ලබාගෙන ඇත්තේ ඔහුයි. රනිල් වික්‍රමසිංහට පැවරී ඇති මූලික වගකීම තමයි මේ කොන්ත්‍රාත්තු තුන කෙසේ හෝ ඉටු කිරීම.

යළි ආ “රිගේනින් ශ්‍රී ලංකා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ රට විකිණීමේ කොන්ත්‍රාත්තුවට මුලින්ම අත ගැහුවේ 2002 දී ‘රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන’ අරගෙන ඇවිල්ලයි. ඊට අවශ්‍ය නීති පද්ධතියක් ද සකසා රටේ රාජ්‍ය සම්පත් විකුණා දැමීමට ඔහු එදා සූදානම් වුණා. ඒ වගේම ඔහු එදා තාවකාලික ආණ්ඩුවක් හදලා ‘ඊළමට’ පාර කපන්නත් කටයුතු කළා. ඒ සඳහා වේළුපිල්ලේ පිරබාහරන් සමඟ අවබෝධතා ගිවිසුමකට ද එළැඹියා. නමුත් එදා මේ රටේ දේශප්‍රේමී, ජාතිකවාදී, ප්‍රගතිශීලී බලවේග රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් බිමට බස්සලා ඒක නැවැත්තුවා. කෙසේ නමුත් 2002 – 2004 සහ 2015 – 2019 යන කාලවලදී ක්‍රියාත්මක කරගන්න බැරි වුණු ‘රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන’ යළි ක්‍රියාත්මක කිරීම ඔහු දැන් අරඹලා තිබෙනවා.

රාජ්‍ය ව්‍යවසායන් 52ක් සූදානම්!

මේ වන විට වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනම ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසමක්’ හදලා ඒකෙ සභාපති විදියට ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයාව සිටි Suresh Shah මහතා පත්කොට තිබෙනවා. එමගින් රාජ්‍ය ව්‍යවසායන් 52ක් විකිණීම සඳහා සූදානම් කරමින් තිබෙනවා. එම ආයතන 52ට ලංකා බැංකුව, මහජන බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය, ලිට්රෝ ගෑස් සමාගම ආදී සියල්ල ඇතුළත්. ජාතික ආරක්ෂාවට සංවේදී, ලාභ ලබන ආර්ථික මර්මස්ථාන මේ අතර තිබෙනවා.

ජනාධිපතිවරණයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම

මේ වික්‍රමසිංහගේ රාජ්‍ය ව්‍යවසායන් විකිණීමේ අරමුණ කුමක්ද? එක අරමුණක් තමයි ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා අරමුදල් සපයා ගැනීම. දැන් බලන්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ලාබ ලබන අයතනයක්. විකුණුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොමිස් මුදලක් ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලාබ ලබන ආයතනයක්. ඒකත් විකුණුවාම අත යට ගනුදෙනුවෙන් ජනාධිපතිවරණයට අවශ්‍ය අරමුදල් ශක්තිමත් කරගන්නවා. විදුලි බල මණ්ඩලය අටකට කඩා විකිණීමෙන් ද මේ විදිහටම අත යට ගනුදෙනුවෙන් එයා තමන්ගේ ජනාධිපතිවරණයට අවශ්‍ය අරමුදල් තර කර ගන්නවා. දෙවැනි අරමුණ තමයි මේ රටේ රාජ්‍ය ආයතන ඉන්දියාව ඇතුළු නොරටුන්ට ලබාදීමේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීම.

මේ තුට්ටු දෙකට, ඡන්දවලට සල්ලි හොයන්න විකුණන්න යන්නේ ඔබේ රටේ, ඔබේ දරුවන්ගේ දේපළ. එදා අපි කවුරුත් පාරට බැහැලා මේවා විකුණන එක අනාගත පරපුර වෙනුවෙන් නතර කරගත්තා. එදා විකුණන්න යද්දී රනිල් වික්‍රමසිංහලාගෙන් බේරාගත්තු ආයතන තමයි අද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ආශිර්වාදයෙන් අද විකුණන්න යන්නේ. අපේ රට නොරටුන් අතට පත් කිරීමේ මේ සාපරාධී වෑයම කෙසේ හෝ පැරදවිය යුතුයි.

අපි සියලු දේශපාලන පක්ෂවලට ආරාධනය කරනවා, ‘මේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණ අරමුදල් තරකර දීමේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටු හවුලේ රාජ්‍ය ව්‍යවසායන් විකිණීමේ උත්සාහය වළක්වන්න පෙරට එන්න’ කියලා. අපි කවුරුත් වාදභේද පසෙකලා රාජ්‍ය ව්‍යවසායන් නොරටුන්ට විකිණීමට එරෙහිව එක වේදිකාවකට එකතු වෙන්න ඕනෙ. වෘත්තිය සමිති, බහුජන සංවිධානවලටත් එම දැවැන්ත වේදිකාවට එකතු වන ලෙස ආරාධනය කරනවා.

‘2002දී සහ 2015දී කළා වගේම රාජ්‍ය ව්‍යවසායන් විකිණීමේ සාපරාධී වෑයම පරදවන්න අපි සූදානම්’ කියා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මොරටුව මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී සුරේෂ් ඉන්දික සහ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී අතුල සේනානායක යන මහත්වරු ද සහභාගී වූහ.