Spread the love

ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරමින් සිටිනුයේ මැතිවරණ උපක්‍රමක් ලෙසින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ණය ගෙවීම ආරම්භ කලහොත් තෙල් ගෑස් ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ගෙවීමටවත් ශ්‍රී ලංකාව සතු ඩොලර් ප්‍රමාණවත් නොවන තත්වයක් ඇතිවී එය ජනපතිවරණයේදී ආණ්ඩුවට අහිතකර ලෙස බලපාන බැවින් ජනපතිවරණය අවසන් වන තෙක් ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහකරණය කල් දැමීමේ උත්සාහයක නියලෙන බවද ගම්මන්පිල මහතා සදහන් කරයි.

කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ආර්ථිකය පුනර්ජීවනයක් ලබමින් තිබෙන බව ආණ්ඩුව පැවසුවත් සංඛ්‍යා ලේඛණ පෙන්වන්නේ ආණ්ඩුව බොරු කරන බවයි. 2023 අපනයන ආදායම ඩොලර් බිලියන 14.49යි. පැය 14ක් විදුලිය කපපු මාස ගණන් ඉන්ධන නොතිබුණු මාස 4ක අරගලයක් තිබුණු 2022ට සාපේක්ෂව 2023 අපනයන ආදායම වැඩි වෙන්න ඕනිනෙ. නමුත් 0.39%කින් අඩු වෙලා. ඊට හේතු ගණනාවක් බලපාලා තිබෙනවා.

පළමු හේතුව තමයි කෝවිඩ් සහ ආර්ථික අර්බූදයට මුහුණ දීලා කම්හල් වසා දැමූ නිෂ්පාදකයින් ඉන් ගොඩ ගැනීමට ආණ්ඩුවට වැඩපිලිවෙලක් නැති වීම. දෙවනුව අපි භාණ්ඩ අපනයනය කරන ප්‍රධාන වෙළඳපොලවල් වන බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජර්මනිය දරුණු ආර්ථික අර්බූදයන්ට මුහුණ දී සිටීම හේතුවෙන් අපනයන ඉල්ලුම අඩු වීම. තුන්වන හේතුව තමයි අපේ රටේ වැඩියෙන්ම ආයෝජනය කරලා තිබෙන ජපානය සහ චීනයේ ආර්ථික මන්දගාමි වීම. හතරවන හේතුව තමයි අපේ රටේ ඉන්ධන සහ විදුලි පිරිවැය අනෙකුත් රටවලට වඩා ඉහළ අගයන් ගන්න නිසා කර්මාන්තකරුවන් තම කම්හල් වෙනත් රටවලට රැගෙන යෑම වගේම අපේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළදපොලේ තරගකාරීව කටයුතු කිරීමට නොහැකි වීම. 2022 සහ 2023 වසරේ සිදුවූ දැවැන්ත බුද්ධි ගලණය. මේ නිසා පුහුණු ශ්‍රමිකයින් සහ වෘත්තියවේදින් රට හැර යෑම නිසා නිෂ්පාදනය කටයුතු අඩපණ වීම.

මේ හේතු 5 නිසා අපනයන ආදායම කඩා වැටිලා තියෙනවා. අපනයන ආදායම කඩා වැටීම නිසා ඩොලර් හිගය උග්‍ර වෙනවා. ආර්ථික අර්බූදයෙන් ගොඩ එනවා වෙනුවට අදුරෙන් අදුරට තමයි අපි ගමන් කරන්නේ. තාම තියෙන්නේ අපායේ ඉන්ටවල් නිසා කට්ටියට මේක තේරෙන්නෙ නෑ.

ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරයි

අපි ණය ගෙවීම නතර කරලා දැන් වසර දෙකකට කිට්ටුයි. නමුත් ණය ප්‍රතිව්‍යුහකරණය තවම අවසන් වන පාටක් නෑ. 2022 සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුව ප්‍රසිද්ධ කළ ණය ප්‍රතිව්‍යුහකරණ මාර්ග සිතියම අනුව 2023 දෙවන කාර්තුව අවසන් වන විට ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වෙනවා. නමුත් දැන් ඒක 2024 තුන්වන කාර්තුව වනතුරු කල් දාන්න ආණ්ඩු කටයුතු කරලා. ආණ්ඩුව වසරකටත් වඩා වැඩි කාලයකින් ණය ප්‍රතිව්‍යුහකරණය කල් දමා ඇත්තේ ඇයි? වෙන රටවල වසරක් ඇතුලත ණය ප්‍රතිව්‍යුහකරණය සිදු වුණත් අපේ රටේ වසර දෙකහාමාරක් ගත වෙන්නේ ඇයි? පිලිතුර හරිම සරලයි. ආණ්ඩුව දැන් ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කලොත් වසරකට ඩොලර් බිලියන තුනක් හතරක් ණය ආපසු ගෙවන්න වෙනවා. දැනටමත් අපේ සංචිත තියෙනවා කියන්නේ ඩොලර් බිලියන 4යි. එහෙනම් ණය ගෙව්වොත් සංචිත බිංදුවට වැටිලා ආනයන සඳහා ඩොලර් සොයා ගැනීම දුෂ්කර වෙනවා. තෙල්, ගෑස්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ගෙවීමට ඩොලර් හිග වෙනවා. එතකොට දැන් අපි භුක්ති විඳින අපායේ ඉන්ටර්වල් ඉවර වෙනවා. ඒ නිසා ජනපතිවරණය අවසන් වන තුරු ණය ආපසු ගෙවීම ආරම්භ නොවෙන්න නම් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී කල් මරමින් ඉන්න වෙනවා. දැන් ආණ්ඩුව කරමින් ඉන්නේ ඒකයි. එය මැතිවරණ උපක්‍රමයක්.