Spread the love

සෞඛ්‍ය වර්ජනය පැවතියත් රෝහල් 64 ක දෛනික රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා තවදුරටත් යුද හමුදා සෙබළුන් 1,100ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

මහජනතාව දැඩි ලෙස අසිරුතාවයට පත්ව ඇති අතර, සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් මත මෙම භටපිරිස් යෙදවා ඇත.
බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොළොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළු රෝහල් 64ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යොදවා තිබේ.

දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි සියලු පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී ඇතිවන අවශ්‍යතාවයන් මත අනෙකුත් රෝහල්වලට යුද හමුදා සාමාජිකයින් යෙදවීමට සුදානමින් සිටින ලෙසත් යුද හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සෙබළු 188ක් සහ නාවික හමුදාවෙන් සෙබළු 93 දෙනෙකු රෝහල් සේවය වෙනුවෙන් යොදවා ඇතැයි වාර්තා වේ