Spread the love

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පාසල් මට්ටමින් කුඩා කාලයේ සිට අවබෝධයක් ලබා දිය යුතු බවත් තමන් සිටිනා තනතුර, ජාති, ආගම්, කුල, තරාතිරම කුමක් වුවත් සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීමට එයට හැකියාව පවතින බවත් එය ඉදිරියේ සැවොම එක හා සමාන බවත් සමහර වැඩිහිටියන්ට පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නොමැති නිසා විවිධ පාර්ශ්ව විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ප්‍රධාන කුළුණු 3 ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සිටින බවත් ඊට අමතරව සිව්වැනි කුළුණ ලෙස නිල නොවන ලෙස නිදහස් නිවහල් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කටයුතු කරන වැදගත් ආයතනයක් බවත් මාධ්‍ය නිදහස හැම විටම ආරක්ෂා කළ යුතු බවත් මාධ්‍ය නිදහස හරහා රටක් ඒකාධිපතීත්වයක් කරා යන ගමන වැළකී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුපිරිම බලතල ඇති විධායක ජනාධිපතිකමක් රටේ ඇති බවට සිතුවත් යථාර්ථය වන්නේ ජනඅරගලයත් සමඟ විධායක ජනාධිපති සතු අත්තනෝමතික භයංකාර බලතල අඩු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පවා ඉදිරිපත් වී ඇති බවත් ඒ නිසා විධායක ජනාධිපතිවරයා සුපිරිම බලවතා නොව ඔහුගේ බලය සංවරණ සහ තුළනවලට ලක් කර ඇති නිසා ඔහුට හිතුමතේට කටයුතු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පවා පත් කළේ ජනපතිගේ බලය සීමා කරමින් ප්‍රධාන තනතුරවලට පත් කිරීමේ දී ජනපතිගේ තනි මතයට හිතුමතයට පත් කිරීම් සිදු කිරිම සීමා කර එම පත්කිරීම්වලින් කොටසක් සිදු කිරීම ව්‍යවස්ථා සභාවටත් කොටසත් ජනාධිපතිවරයාගේ පත්කිරීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා සභාවටත් ලබා දීම තුළ විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 76 වැනි අදියර යටතේ මධුරාපුර අසාෆා මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ මෙවන් තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ අතකොලුවක් බවට වන ප්‍රචාර දියත් කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෝ එහි සාමාජිකයන් පඹයන් නොවන බවත් එහි සාමාජිකයන් කටයුතු කරන්නේ ප්‍රබුද්ධ ප්‍රශස්ත තීන්දු ලබා ගෙන සංවරණ සහ තුළන අනුව බවත් එය රූකඩයක් නොවන බවත් ජනාධිපතිවරයාට හිතුමතේට පාලනය කළ නොහැකි බවත් ය.

එසේම කුමන අවස්ථාවකදීවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රධාන කුළුණු 3 තමන්ගේ බලතල විශ්වාසයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව උත්තරීතර නීතියට අනුව ක්‍රියාත්මක විය යුතු බවත් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට විවිධ ප්‍රකාශ නිකුත් කර අධිකරණයට බලපෑම් සිදු කළ නොහැකි බැවින් අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කිරීමේ හැකියාව පවතින බවත් ඒ සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රේෂ්ඨධිකරණය ඇතුළු සමස්ත අධිකරණයට එල්ල වන සියලු බලපෑම් පරාජය කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එසේම ව්‍යවස්ථාදායක සභාව විධායකයේ හෝ වෙනත් ආයතනයක බලපෑම්වලට යටත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විදේශීය මෙන්ම දේශීය ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක අප ජිවත් වන බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන ගමනේද නිවැරදි ආකාරයට රටේ ඇති අඩුපාඩුකම් අවබෝධ කර ගෙන මගහරවා ගෙන අලුත් ආකාරයට රට ගොඩගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සමගි ජනබලවේගය ඇති කර ගෙන යන බවත් ඒ තුළ බලයට එන්නටත් පෙර අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත වැඩකොටසක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 76ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 740ක් වැය කර තිබේ.