Spread the love

“කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරඹෙයි.
කඳුකර දශකය වැඩසටහන මෙම වසර තුළ දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල එම දිස්ත්‍රික්ක වේ.
ඇමතිවරයා පවසන්නේ මෙම දිස්ත්‍රික්ක 10 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක ග්‍රාම නිළධාරී වසම් 4,498 ක් මේ සදහා හදුනාගෙන ඇති බවයි. මේ සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.
මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාපෘති යෝජනා සකසා ප්‍රාදේශීය ලේකම් කමිටුවල නිර්දේශය සහිතව මෙම මස අවසන් වීමට පෙර දිස්ත්‍රික් කමිටු වෙත ඉදිරිපත් කළ යුතු බවද ඇමතිවරයා සදහන් කළේය.

මාතර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුව පැවැත්වුනේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියම් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කළේ මෙම වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල 05 ක, ග්‍රාම නිළධාරී වසම් 214 ක ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ අකුරැස්ස, පිටබැද්දර, මුලටියන, පස්ගොඩ සහ කොටපොල යි.
සංවර්ධනය ගමට ගෙන යාමේ අරමුණින් රජය විසින් මෙම වැඩසටහන ආරම්භ කරන බව පැවසූ ඇමතිවරයා, එය සම්පූර්ණයෙන්ම ජනතා සහභාගීත්වයට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්මක කරන බවද සදහන් කළේය.
මාතර දිස්ත්‍රික්කය සදහා සංවර්ධන අරමුදල් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී නිළධාරීන් දැනුවත් කළේය. මෙවර මාතර දිස්ත්‍රික්කය සදහා සංවර්ධන අරමුදල් යටතේ රුපියල් මිලියන 402 ක් වෙන් කර තිබේ.
කඳුකර දශකය නමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි. මෙම වැඩසටහන සදහා මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි. මේ යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට රුපියල් මිලියන 100 බැගින් හිමිවේ.