Spread the love

.

දිළඳු ජනතාව පීඩාවට පත් කර සමාජ ගැටලුවක් නිර්මාණය කරමින් ඇති ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

රජයේ අපේක්ෂාව වන්නේ වඩාත් විධිමත් නීති රාමුවක් සකස් කිරීම බවත්, ඒ සඳහා සියලු පාර්ශ්වල අදහස් ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව දී අමාත්‍යවරයා මේ බව පැවැසීය. ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්, ණයකරුවන්, මහ බැංකු නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ රටේ සියලු මූල්‍ය ආයතන එක් පනතින් ආවරණය කළ හෝ නියාමනය කළ නොහැකි බවයි. විශේෂයෙන් ම මහා පරිමාණ මූල්‍ය සමාගම් ඉතා දැඩි නීති රීති යටතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අතර සමස්ත ණය ප්‍රමාණයෙන් 2%කට අඩු මට්ටමේ හිමිකාරීත්වයක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය වෙනම අධිකාරියක් යටතට පත් කිරීමේ අවශ්‍යතාව මතු ව ඇති බවයි.

විශේෂයෙන් ම පිරමීඩ ක්‍රම, Online ණය ලබා දීමේ ආයතන ඇතුළු සියල්ල නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේ දී සියලු පාර්ශ්වල අවධානයට ලක් විය. අමාත්‍යවරයා පැවසුවේ දැනට අධිකරණය හමුවේ පවතින අදාළ කෙටුම්පත අනුව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට අදාළ කරුණු සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ට වසර දෙකක කාලයක් පවතින බවයි.
ගැටලුවලට පිළිතුරු සෙවීමේ දී අතුරු ප්‍රශ්න නිර්මාණය වන බවත් ඒවාට ද පිළිතුරු සොයමින් ඉදිරියට ගමන් කිරීම සාර්ථක පනතක් නිර්මාණය කරගැනීමේ මාර්ගය බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.