Spread the love

අගමැතිධූරය වෙනස් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් මේ මොහොතේ රජයට නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මේ මොහොතේ අවශ්‍ය තනතුරු වෙනස් කිරීමට වඩා ආර්ථිකය ශක්තිමත් කර රට ස්ථාවර කිරීම බවයි.

රජය ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද හෙතෙම සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ප්‍රශ්නය – අද පැවති සාකච්ඡාව ගැන කතා ක⁣ළොත්?

පිලිතුර – කොවිඩ් වසංගතය හා අරගලය නිසා අපිට සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරිවුණා.නමුත් වත්මන් ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරමින් කිව්වේ සංවර්ධනය ගමට ගෙනියන්න කියලයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහායි. ඒ අනුව සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සෑම ග්‍රාමසේවා වසමකටම රුපියල් මිලියන 3-4ක මුදලක් ලැබෙනවා.

ප්‍රශ්නය – ඉදිරියේදී පැවැත්වෙන්නේ කුමන මැතිවරණයක් ද?

පිලිතුර – ව්‍යවසස්ථානුකූලව මේ වසරේ පැවැත්වෙන ඕන ජනාධිපතිවරණයයි. හැබැයි මහා මැතිවරණයක් පවත්වන්නත් ජනාධිපතිවරයාට පුළුවන්. ඒකට ගොඩාක් කල් තියෙනවා.නමුත් අපි අවධානය යොමුකරන්නේ සංවර්ධන වැඩපිළිවෙළ කෙරෙහියි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බළාපොරොත්තු වෙන මැතිවරණය මොකක්ද?

පිලිතුර – පොහොට්ටුව කියන්නේ ග්‍රාමීය මටිටමේ ඉඳලම ඉතාම හොඳින් සංවිධානාත්මක වැඩපිළිවෙළක් තියෙන පක්ෂයක්.අපි රැල්ලට යන්නේ නැහැ. ඒ නිසා ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.

ප්‍රශ්නය – ඒත් අපිට හිතෙන්නේ පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑ කියලයි?

පිලිතුර – අපේ පක්ෂයට නායකයෙක් ඉන්නවා. ජනාධිපතිවරණ අපේක්ෂකයා සමඟ තීන්දු ගන්නෙ පක්ෂය.අපි මහින්ද රාජපක්ෂ මහත්තය පත්කර ගත්තේ යුද්ධය දිනලා රටේ සාමය ඇති කරන්නයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගත්තේ යහපාලනය ස්ථාපිත කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමා පත්කර ගත්තේ ජතික ආරක්ෂාව තහවුරු කරගන්න. දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්. ඒ අභියෝගය ජයගන්න බය නැතුව ඉදිරියට ආවේ වත්මන් ජනාධිපතිතුමා. මීට වසර දෙකකට පෙර අපි පෝලිම්වල දුක්වින්ඳා. නමුත් දැන් අපි යම් මට්ටමක ඉන්නවා. මේ අර්බුදය මතුවෙන වෙලාවේ අනිත් ඔක්කොම හැංගුණා.

ප්‍රශ්නය – ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට යළි අවස්ථාවක් දිය යුතුයි කියලද?

පිලිතුර – ඔව්…දැන් ආර්ථිකය හදල රට ස්ථාවර කරන්න පුළුවන් නායකයෙක් ගේන්න ඕන. හොරු ඇල්ලීම ගැන කයිවාරු ගහන නායකයන්ට ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න බැහැ. මේ තත්ත්වය බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන තිබෙනවා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජනපති අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට යෝජනා වෙලා තියෙනවාද?

පිලිතුර – නෑ… එතුමාට අපේක්ෂකත්වය දියයුතුයි කියන එක මගේ පුද්ගලික මතය. ජනපති අපේෂකත්වය ගැන පක්ෂය ඉදිරියේදී තීන්දුවක් ගනීවි. පොහොට්ටුව සහයෝගය දෙන අපේක්ෂකයා තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ.

ප්‍රශ්නය – මේවනවිට ජනතා විමුක්ති පෙරමුණ වේඟයෙන් ඉදිරියට එන බවක් පේනවා. ඒක තර්ජනයක් නෙවෙයිද?

පිලිතුර – එයාල ජනාධිපති වෙන්නේ ෆේස්බුක් එකේ විතරයි.එයාලට ග්‍රාමීය මට්ටමින් ශාඛා ව්‍යුහයක් නැහැ. සැලසුම් නැහැ. සියයට තුන සියයට 1500කින් වැඩිකරන්නෙ කොහොමද. ජනාතා විමුක්ති පෙරමුණේ රැල්ල කඩාගෙන යනවා. දේශපාලනය ගැන අවබෝධයක් තියෙන බුද්ධිමතුන්ට ඕක තේරෙනවා. අපිට යම් ඡන්ද ප්‍රමාණයක් අඩුයි. නමුත් අපේ වැඩපිළිවෙළට මිනිස්සු සහය දෙනවා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දෙන්න පක්ෂය කැමතිද?

පිලිතුර – එතුමා ඉල්ලනවද නැද්ද කියල තවම දන්නෙ නැහැ. කියලත් නැහැ. මගේ අදහස ආර්ථික අර්බුදයයට මුහුණ දිය හැකි නායකයෙක් පත්කරගත යුතු කියන එකයි. හොරු අල්ලන්න ඊට පස්සේ පුළුවන්.

ප්‍රශ්නය – අගමැතිධූරය ගම්පහට ලැබෙන කතාවක් යනවා.

පිලිතුර – දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිධූරයේ හොඳට වැඩ කරගෙන යනවා. ඒනිසා ඒ තනතුර වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි මේ වෙලාවෙ බලන්නේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි. ඒක ජාතික ප්‍රශනයක්. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්නය කෙරෙහි අවධානය දෙන්න ඕන නෑ.

ප්‍රශ්නය – අගමැතිකම එපා කියන්නේ ඇයි?

පිලිතුර – මම මගේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන ⁣මිනිහෙක්. මම තනතුරු ඉල්ලගෙන ගිය කෙනෙක් නෙවෙයි.

ප්‍රශ්නය- පොහොට්ටුවෙන් ඔබතුමාට කැපිල්ලක් තියෙනවාද? වැඩිය දකින්න නැහැ.

පිලිතුර – එහෙම එකක් නෑ.මම සම්මේනයේ හිටියා. ගම්පහ පොහොට්ටුව ශක්තිමත් කරන වැඩපිළිවෙලේ මම ඉන්නවා.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් කියල තියෙනව තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරනව කියල?

පිලිතුර – එයාලා එහෙම කියන්න ඕන. අරගලේ හිටියේ ගණිකාවෝ. හැබැයි ජ.වි.පෙ මේ කියන කතා ගණිකාවන්ටත් අපහාසයක්.