Spread the love

’30/1′ තවදුරටත් ශක්තිමත් කළ හැටි

මෙම රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම යහපාලන ආණ්ඩුව එසේ පෙරට ගෙන ආවා. ඉන්පසුව එම මෙහෙයුම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අඩපණව ගියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පැමිණි පසු යළි සක්‍රියව තිබෙනවා. ‘වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත’ ගෙන ආවේ පසුගිය වසරේදීයි. එම පනත මගින් 2015 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව තවදුරටත් ශක්තිමත් කරනු ලැබුවා. මෙමගින් අධිකරණයේදී හෝ අනාගතයේදී පිහිටුවනු ලබන ‘සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම’ වැනි කොමිසමකදී සාක්ෂි ලබාදෙන අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සහ වද බන්ධනයට ලක් වූවා යැයි පිළිගන්නා පුද්ගලයන්ට විශේෂිත ආරක්‍ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ශ්‍රව්‍ය – දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් ලබාදීමට නිත්‍යනුකූලව ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව විදෙස්ගත පුද්ගලයන්ට හරස් ප්‍රශ්න ඇසීමකට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමට අවස්ථාව ලැබෙනවා.

සම්පූර්ණ පින්තූරය බලමු!

සම්පූර්ණ පින්තූරය පෙනෙන්නේ මේ පනත් සියල්ල එකවර කියවා ගත්තාමයි. දැන් මේ ‘ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව’ කියන පනත් කෙටුම්පත ගැසට් කරනු ලබන්නේ ඉහත කී සියලු නීතිමය රාමු සකස් කර ගනු ලැබීමෙන් අනතුරුවයි. මේ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කරගනු ලැබීමෙන් පසුව, ඉහත කී පනත් හතම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් ලබාදීම, සහාය ලබාදීම හා එකඟතාව ලබාදීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන ව්‍යුහය පිහිටුවීම සිදු වෙනවා.

යුද්ධයට අණ දීපු – නියෝග දීපු නිලධාරීන්ට වෙන දේ

අපි දන්නවා, දැනටමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනාවලට ලක්වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ සිටින සහ සිටිය හමුදා නිලධාරීන් ගණනාවකගේ නාමලේඛනයක් ප්‍රකාශයට පත් කරල තිබෙනවා. එම නාමලේඛනයට අදාළව බොරු චෝදනා ගොනු කරන්න, බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න මේ ක්‍රියාවලියට අනුව පුළුවන්. මේ පනත මගින් ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බලගන්වනවා. මේ අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දීපු, නියෝග දීපු සරත් ෆොන්සේකා හැර(ඉහත කී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නාමලේඛනයේ ඔහුගේ නම නැහැ) සෙසු හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීන් බොහොමයකට නඩු පැවරීමට පුළුවන්; බොරු සාක්ෂි ගොතන්න පුළුවන්; ඉහත කී දේශීය යුද අපරාධ මහාධිකරණයෙන් නඩු අසා දඬුවම් කිරීමට පුළුවන්. එපමණක් නොවෙයි, වෙනත් රටක අධිකරණයක ඒ අයට විරුද්ධව තීන්දුවක් ලබා දුන්නොත් ඒ තීන්දුව ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කිරීමටත් මේ අනුව ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා.

අවසන් පනත් කෙටුම්පත…

අපි අද බඩගින්නට, සාගතයට, ජීවත්වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින ජනතාවගෙන් පිරුණු රටක්. ඒ අර්බුදය මැද්දේ වුවත් අපි මහ පාරේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක ජීවත් වෙනවා. ඒ ජීවිතය අපට ලබා දුන්නේ මේ රටේ ආරක්ෂක හමුදා නිලධාරීන් බව අපට අමතක කරන්න බැහැ. අද ආබාධිත රණවිරුවෙකු මියගියාට පසු ඔහුගේ විශ්‍රාම වැටුප බිරිඳට ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒ නීතිය වෙනස් කරලා. රණවිරුවන්ට එහෙම කාලකන්නි විදිහට සලකන ආණ්ඩුවක් මේ පනත් සියල්ල සම්මත කරලා කරන්නේ රණවිරුවන් යුද අපරාධකරුවන් කරන එකයි. දැන් අවසානයේදී මේ ඊනියා සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරපු ගමන් ඉහත කී දේශීය යුද අපරාධ මහාධිකරණයට පණ එනවා; බොරු සාක්ෂි සියල්ල වලංගු සාක්ෂි බවට පත් වෙනවා; බොරු සාක්ෂිවලට විරුද්ධව සාක්ෂි ආඥා පනත ක්‍රියාත්මක කරන්නත් බැරි වෙනවා. මේ ක්‍රියාවලියට විරුද්ධව රිට් ආඥාවක් ලබා ගැනීමේ ඉඩකඩ ද ඇහිරෙනවා.

උතුරේ ඡන්ද කුට්ටිය බලාගෙන කරන කැත වැඩේ!

රනිල් වික්‍රමසිංහ මේ විදියට දෙමළ ඩයස්‌පෝරාව සතුටු කරලා, මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉවර කරපු හමුදා ප්‍රධානීන් බිල්ලට දීලා කොතැනටද යන්න හදන්නේ? පසුගියදා උතුරට ගිහිල්ලා ඔහු පැවසුවේ කුමක්ද? ’13 වැනි සංශෝධනය ඔයාලා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ’ කියලයි. ඒ කියන්නෙ, ‘උතුරට පොලිස් ප්‍රඥප්ති, ඉඩම් ප්‍රඥප්ති, පරිසර ප්‍රඥප්ති හදාගන්න. මම ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ. මගේ ආණ්ඩුකාරයා ඒ සියල්ලට අනුමැතිය දෙනවා.’ කියලයි. ඊළඟ ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද ටිකට ඉව අල්ලන වික්‍රමසිංහ බලන්නේ රටේ අනාගතය සම්පූර්ණයෙන් පාවලා දීලා, ඒ ‘ඡන්ද කුට්ටිය’ කඩාගන්නයි.

ඊනියා අරගලයේදී ආරක්ෂක හමුදාවලට ගැරහුවේ, ඔවුන් පිළිබඳ ගෞරවය නැති කරලා මේ විනාශය සිදු කරන්න තමයි. දැන් බලන්න, ප්‍රතිත්‍රස්ත පනත ගෙන එනවා; සමාජ මාධ්‍ය පාලනයට තවත් පනතක් ගෙන එනවා. මේ සියල්ලෙන් සිදු කරන්නේ මාධ්‍ය නිදහස උදුරා ගැනීම, සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම. නමුත් අද බටහිර රටවල ‘මානව හිමිකම් පුටුව’ රත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපට සාමකාමී රටක් නිර්මාණය කරලා දීපු ආරක්ෂක හමුදා ප්‍රධානීන් බිල්ලට දීලා නිහඬව සිටියොත් අපි මිනිස්සු වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි අකෘතඥ ජාතියක් ලෙස ඉතිහාසය තුළ ලියැවෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා මේ පාවාදීමට එරෙහිව පෙරට එන්න කියා ලක්වැසි සියලු ජනයාගෙන් අපි ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.