Spread the love

මෙය මැතිවරණ වසරක් බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂිත දේශපාලඥයන්ට තවදුරටත් පාලනය කරන්නට ඉඩ දෙනවද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙකුට ඉදිරියට ගෙනයාමේ වගකීම බාර දෙනවාදැයි තීරණය කරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති.

එතුමන් මේ බව කියා සිටියේ අද පැවති බොරැල්ල සියලු සාන්තවරයන්ගේ දෙව්මදුරේදී පැවති විශේෂ දේව යාගයකදීය.

බොරැල්ල සියලු ශාන්තූරන්ගේ දේවස්ථානයට මීට වසර දෙකකට පෙර අත් බෝම්බයක් ගැසුවේ මෙරට සිටි බලවතුන් විසින් බවද අගරදගුරු හිමියන් එහිදී චෝදනා කළහ.

එම ප්‍රහාරයේ අරමුණ වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බිය වැද්දී බවත් එතුමන් පැවසූහ.

“වාසනාවකට එදා අත්බෝම්බය පිපිරුවේ නැහැ. CCTV බලන්නේවත් නැතුව පල්ලියේ සේවකයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට ගත්තා. විමර්ශන සම්බන්ධයෙන් නොයෙකුත් බොරු කිව්වා. CCTVවල අත්බෝම්බය තියපු කෙනා පැහැදිලිව පෙනුණා. පොලිසිය ඒ මනුස්සයා ගැන සෙව්වේවත් නැහැ. අවුරුදු 02කට පසුවත් අපි යුක්තිය ඉල්ලනවා මේ පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන්න.

ඒ අත්බෝම්බය ගෙනල්ලා දේවස්ථානයේ තියපු පුද්ගලයා කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔහු ඉන්නවා. කිසිදු සොයා බැලීමක් වෙලා නැහැ. මොකද ඔහු ඔවුන්ගේ ආධාරකරුවෙක්. ඔවුනුයි ඔහුව එව්වේ. ප්‍රබලයෝ තමයි මේ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ.

රැලිය පවත්වන්න එපා කියලා අවවාද කරන්නයි‍ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ මිනිස්සුන්ව බය කරන්න හැදුවේ.

මේ වර්ෂය මැතිවරණ වසරක්. යම් හෙයකින් මැතිවරණය පැවැත්වුණ හොත් අපිට අවස්ථාවක් තියෙනවා තීරණය කරන්න මේ දූෂිත දේශපාලනඥයින් රට තවදුරටත් පාලනය කරනවා ද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙක්ට රට ඉදිරියට රැගෙන යාමේ වගකීම භාර දෙනවා ද කියන කාරණාව.”