Spread the love


නිමල් රාජපක්ෂ-

මිල්කෝ සමාගමේ පසුගිය කාලය තුළ සිදු වූ දූෂණය හා නාස්තිය සම්බන්ධව වහාම විමර්ශණයක් සිදු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දෙයි
පාලන අධිකාරියේ වැරදි තීරණ හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයක් තුළ දිගින් දිගටම පාඩු ලැබූ මිල්කෝ සමාගම ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එම ආයතනය තුළ ක්‍රියාත්මක සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කරනු ලැබීය.

ඊයේ (09) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ සමාගම් පරිශ්‍රයේ දී සාකච්ඡාවක් පැවැත්විනි. මෙම සාකච්ඡාවට සියලු කාර්ය මණ්ඩල නියෝජිතයින් හා වෘත්තිය සමිති නියෝජිතයින් ද සහභාගි වී සිටියහ.

කිරි ලීටර් 165,000කින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ආ පසුකාලීනව කිරි ලීටර් 55,000 දක්වා නිෂ්පාදනය අඩුවීම සම්බන්ධව පාලන අධිකාරිය අනිවාර්යෙන්ම වගා කව යුතු බවත්, නාස්තිය හා දූෂණය නිසා මිල්කෝ සමාගම මේ වනවිට බිඳ වැටී ඇති බව ද වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.

කිරි ආශ්‍රිත නිෂ්පාදන කටයුතු පහත වැටුනත් පසුගිය කාලය තුළ දිගට හරහට අමුද්‍රව්‍ය මිල දී ගැනීමට පාලනාධිකාරිය මුදල් වැය කර ඇති බව පෙන්වා දුන් ඔවුහු මේ සම්බන්ධව අමාත්‍යාංශය මට්ටමෙන් හෝ විමර්ශණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කළේය.

මේ අතර මිල්කෝ සමාගමේ අභිවෘද්ධිය උදෙසා තමන්ට වසර දෙකක් තිස්සේ අයවිය යුතු ජීවන දීමනාවන් හි හිඟ මුදල් පවා කැප කිරීමට සූදානම් බව වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.